
විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද සේවා කාලය දීර්ඝ කළ යුතු බව ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා සඳහන් කළේ හමුදා සේවයේ නියුතු පිරිස් වසර 20ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාම හේතුවෙන් ඔවුන් දැඩි සමාජීය සහ ආර්ථික ගැටලුවලට මුහුණ දෙන බවයි.
“හමුදා සෙබළුන් වසර 20කින් විශ්‍රාම යන විට ඔවුන්ගේ වයස අවුරුදු 45ක් පමණ වෙනවා. ඒ කාලය තමයි ඔවුන්ගේ දරුවන් විභාගවලට පෙනී සිටින, ජීවිතයේ වැඩිම වගකීම් ප්‍රමාණයක් තියෙන කාලය. ඒ වයසේදී ඔවුන්ට අලුතින් රැකියාවක් සොයා ගැනීමත් අපහසුයි,” යැයි ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.
ලෝකයේ දියුණු රටවල තත්ත්වය උදාහරණයට ගනිමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇමරිකාව වැනි රටවල හමුදාපතිවරුන් වයස අවුරුදු 70 දක්වා සේවය කරන බවයි.
තමන් හමුදා සේවයෙන් ඉවත් වී වසර 20ක් ගත වුවද, තවමත් කායිකව සහ මානසිකව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත්, හමුදාවට අණ දීමට තමන්ට දැනටත් හැකි බවත් ඔහු අවධාරණය කළේය.
රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස තවත් වසර පහකින් පමණ දීර්ඝ කිරීම හරහා ඔවුන්ගේ අත්දැකීම්වලින් රටට වැඩි සේවයක් ලබාගත හැකි බව ද ඒ මහතා පැවසීය.




