
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම මගින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීවු අමරසූරිය මහතා පවසයි.

දෙරණ ‘360’ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, අධිකරණ පද්ධතියේ ඉහළම තනතුරුවල පුරප්පාඩු පවතිද්දී ඒවා පිරවීමට කටයුතු නොකර විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය උත්සාහ කිරීම දූෂිත ක්‍රියාවක් බවයි.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් වශයෙන් සමස්ත පුරප්පාඩු 8ක් පවතින බව අමරසූරිය මහතා පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් මෙවැනි පුරප්පාඩුවක් ඇති වූ සැනින් එය පිරවීම සම්ප්රදාය වුවද, වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම තනතුරු සඳහා පත්කිරීම් සිදු නොකිරීම බරපතළ ගැටලුවක් බව ඔහු සඳහන් කළේය.
“ව්‍යවස්ථාවට අනුව මෙම පත්කිරීම් සිදුකිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්. නමුත් එම වගකීම පැහැර හරිමින්, අනෙක් පැත්තෙන් විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට පනත් ගෙන ඒම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන බලපෑමක්,” යැයි ඔහු පැවසීය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී අධිකරණ අමාත්‍යවරයාටත්, මැයි මාසයේදී ජනාධිපතිවරයාටත් නීතීඥ සංගමය විසින් ලිඛිතව කරුණු ඉදිරිපත් කළ ද, ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද සභාපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
විනිසුරු මඩුල්ලේ සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් නඩු විභාග ප්‍රමාද වීම සහ අධිකරණ ක්‍රියාවලිය මන්දගාමී වීම හරහා අවසානයේ මහජනතාව දැඩි අසීරුතාවට පත්වන බව ද රජීවු අමරසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




