
ප්‍රධාන මාර්ග ආසන්නයේ පිහිටි ඇතැම් වෙළෙඳ සැල්වල සකස් කරන ආහාර සඳහා ගංජා මිශ්‍ර කරන බවට දැඩි සැකයක් පවතින බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් කිසිදිනෙක මත්ද්‍රව්‍ය භාවිත නොකළ ඇතැම් රියදුරන් පවා නොදැනුවත්වම මත්ද්‍රව්‍ය වැරදිකරුවන් බවට පත්වීමේ බරපතළ අවදානමක් මතුව තිබේ.
වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දෙන්නේ ගංජා මිශ්‍ර කර පිසින ලද ආහාර ලබාගැනීමෙන් අනතුරුව සිදුකරන මුත්‍රා පරීක්ෂණවලදී, අදාළ තැනැත්තන් ගංජා ශරීරගත කරගෙන ඇති බවට ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි.
කිසිදිනෙක මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට විශ්වාස කළ හැකි රියදුරන්ගේ මුත්‍රා සාම්පලවලින්ද ගංජා අංශු හමු වීමත් සමඟ සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, ඔවුන් මාර්ගාශ්රිත කඩවලින් ලබාගත් ආහාර මගින් මෙලෙස ගංජා ශරීරගත වී ඇති බවට සැකපහළ වී ඇත.
ඇබ්බැහි වීමේ ගුණයෙන් යුතු ගංජා, පාරිභෝගිකයන් එකම වෙළෙඳ සැල වෙත නැවත නැවත ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස ඇතැම් කඩ හිමියන් විසින් ආහාරවලට එකතු කරන්නේද යන්න පිළිබඳව සැකයක් පවතී.
මෙම තත්ත්වය හමුවේ සැබවින්ම මත්ද්‍රව්‍ය භාවිත නොකරන රියදුරන් වෛද්‍ය වාර්තා හමුවේ නිරපරාදේ වැරදිකරුවන් වී සමාජය හමුවේ අපහසුතාවට පත්වන බව සුබසිංහ අවධාරණය කළේය.
එබැවින් ප්‍රධාන මාර්ග ආසන්නයේ ඇති, රියදුරන් අතර ජනප්‍රිය වෙළෙඳ සැල්වල පිරිසිදුකම, ආහාර පිසීමට ගන්නා ද්‍රව්‍ය මෙන්ම එම ආහාරවල ප්‍රමිතිය පිළිබඳවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වගකිවයුතු බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව හෙතෙම කියා සිටියේය.
පසුගිය මාස 6 ක කාලය තුළ මහනුවර, මාතලේ සහ ගම්පොළ යන පොලිස් කොට්ඨාසවලින් පමණක් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කළ රියදුරන් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තවද, මෙලෙස හසුවන රියදුරන්ගෙන් වැඩිදෙනෙකු නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන දුම්වැටි භාවිත කරන බවට තොරතුරු හෙළිවී ඇති බැවින්, එම දුම්වැටිවල අඩංගු ද්‍රව්‍ය පිළිබඳවද ඉදිරියේදී පරීක්ෂා කළ යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




