
තලංගම අකුරේගොඩදී මෝටර් රථයක් තුළදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ අබුඩාබි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල කල්ලි නායක කරන්දෙණියේ සුද්දා විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාට ද කරන්දෙණියේ සුද්දා දුරකථන මාර්ගයෙන් කථා කර ප්‍රහාරය සඳහා අවශ්‍ය උපදෙස් දිගින් දිගටම ලබාදී ඇති බව ද මේ වනවිට අනාවරණය වී ඇත.
කරන්දෙණියේ සුද්දාගේ නඩු කටයුතු සඳහා දිගටම පෙනී සිටි මෙම නීතිඥවරයා මෑතක සිට සුද්දාගේ ප්‍රධානම ප්‍රතිවාදියා වන ලොකු පැටීගේ නඩු කටයුතුවලට ද පෙනී සිටි නිසා ඇතිවූ වෛරය මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙම ප්‍රහාරය එල්ලවූ දිනයේත් (13දා) ඝාතනයට ලක්වූ නීතිඥවරයා ක්ලබ් වසන්ත ඝාතන නඩුව සඳහා කඩුවෙල අධිකරණයේදී ලොකු පැටී වෙනුවෙන් පෙනී සිට ඇති බව හෙළිවී ඇත.
නුගේගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතරින් දෙදෙනකු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මොවුන් කරන්දෙණියේ සුද්දාගේ කල්ලියේ සමීප ගෝලයන් බව ද පැවසෙයි.
නීතිඥවරයා ඝාතනය කිරීම සඳහා ටී 56 අවිය සහ පිස්තෝල අවිය කුලී ඝාතකයන් වෙත ලබාදී ඇත්තේ මෙම සැකකරුවන් විසින් බව ද මේ වනවිට අනාවරණය වී ඇත.
විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම ඝාතනය සිදුකළ කුලී ඝාතකයන් දෙදෙනා සහ මෝටර් රථයේ පැමිණි අනෙක් දෙදෙනා මේ වනවිට පොලිසිය හඳුනාගෙන ඇත.
මෙම කුලී ඝාතකයන් දෙදෙනා යුද හමුදාවෙන් පලා ආ සෙබළුන් බවට තොරතුරු ලැබී ඇති බව ද විමර්ශන නිලධාරීහු පවසති.
මේ වනවිට අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මෙම ප්‍රහාරය සඳහා සහාය වීම සඳහා ගිවිසගත් මුදලින් කිසිවක් තමන්ට නොලැබුණු බවයි.
ඉකුත් 13 වැනිදා සවස 5.00 ට පමණ මෙම නීතිඥවරයා සහ බිරිඳ අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසලකට ගොස් නැවත නිවසට යෑමට මෝටර් රථයට නැග සිටියදී එහි කඩාවැදුණු පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු විසින් ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 10 ක් විමර්ශන පවත්වාගෙන යති.




