
කැලණිය විශ්වවිද්‍යාල භූමියේ රාත්‍රී 10.00න් පසු ශිෂ්‍ය ක්‍රියාකාරකම් නතර කරන ලෙසට නියෝග කළේ උත්සව කටයුත්තකට විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන පුහුණුවිම් ඔස්සේ ශිෂ්‍යයන්ට නවකවදය සිදුවන බවට ලැබී තිබූ පැමිණිලි හේතුවෙන් බවට කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඊයේ (18දා) එහි පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසූවාය.

එවැනි උත්සවයක් සඳහා තවමත් අවසරයක් ලබාගෙන නොමැති බව ද ඇය කියා සිටියාය.
මෙහිදී තවදුරටත් කතා කළ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙසේ ද පැවැසූවාය.
“උත්සවයක් සම්බන්ධයෙන් අපිට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ උත්සවය සඳහා මාස ගාණක සිට හොස්ටල්වල ඉන්න ශිෂ්‍යයන්ව බලෙන් ශිෂ්‍ය මධ්‍යස්ථානයට ගෙන්වාගෙන රෑ තිස්සේ බලෙන් රඳවාගෙන සිටින බවට පැමිණිලි තිබුණා. ශිෂ්‍යයන්ව ගෙන්වලා නැටුම් ගැයුම් පුරුදු කරනවා. ආරාධනා පත්‍ර සකස් කරන්න, දැන්වීම් අඳින්න මේ ශිෂ්‍යයන්ව කැඳවා තිබෙනවා. ඒ වගේම එහිදී නවකවධය සිදුවන බවට පැමිණිලිත් ලැබී තිබුණා. අපේ විනයාරක්ෂක නිලධාරීන් ඒ ශිෂ්‍ය මධ්‍යස්ථානට ගියාම පරුෂ වචනයෙන් බැනලා තිබෙනවා. එහෙම කියන්න ශිෂ්‍යයන්ට අයිතියක් නැහැ.
මේ විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඕනෑ තරම් පහසුකම් තිබෙනවා. වයිෆයි තියෙනවා. විදුලිය තියෙනවා. ජලය තියෙනවා. නේවාසික පහසුකම් තියෙනවා.
දැන් මේ උත්සවය සංවිධානය කරන ශිෂ්‍යයන් මේ උත්සවය තියෙන්නේ කවදද කියලවත් අපිට දැනුවත් කරලා නැහැ. කවදද උත්සවය පවත්වන්නේ කියලා ඇහුවාම දිනය කියන්නෙත් නැහැ. ළඟඳී කරනවා කියනවා. මේක පවත්වන්න තාම අපෙන් අවසර අරගෙනත් නැහැ. අපිට පරිපාලනය පැත්තෙන් තියෙන ගැටලුව මේකයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ සුභසාධනය පැත්තෙන් ගත්ත තීරණයක් මේක.
කැලණිය විශ්වවිද්‍යාලයේ මේ වෙනකොට ශිෂ්‍යයන් දහසය දහසකට අධික පිරිසක් ඉගෙනුම ලබනවා. ශිෂ්‍යයන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගන්න අපි අවස්ථාව උදාකර දි තිබෙනවා. කිසිදු හිරිහැරයකින් තොරව උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට අපට වගකීමක් තිබෙනවා.
මේ උත්සවයට මුවාවෙලා සමහර සිසුන් මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරු විනය විරෝධී වැඩ කරනවා. තවත් පිරිසක් ඉගෙන ගන්නා සිසුන්ව නවකවධය සඳහා පොළඹවා ගන්නවා. ඒ වගේම සිසුන්ට නවකවධත් දෙනවා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්
කැලණිය විශ්වවිද්‍යාලයේ සිදුකරන්න යන්නේ ශිෂ්‍ය මර්දනයක්. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටීම හෝ ශිෂ්‍ය ක්‍රියාකාරකම් රාත්‍රී 10න් පස්සේ සම්පූර්ණයෙන්ම නතර කිරීම අපි පිළිගන්නේ නැහැ. මේ එන්නේ විශ්වවිද්‍යාල සිසුන් මර්දනය කිරීමට නම් අපි දිගටම විරෝධතා කරනවා. මේ නියෝග අකුලා ගන්නකම් අපි අපේ සටන අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේක අසාධාරණයි. විශ්වවිද්‍යාල තුළ සිසුන් නිදහසේ සිටියා.
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය මැදිරිගිරියේ ඉස්සරධම්ම හිමි
“විශ්ව විද්‍යාලවල ඉන්නේ අවුරුදු 18න් පහළ දරුවෝ නෙමෙයි. මෙතන ඉන්නේ තරුණ තරුණියන්. ඉතිහාසයේ ඉඳන් තරුණ තරුණියන් විශ්වවිද්‍යාල භූමියේ නිදහසේ සිටියා. ඒ තරුණ පිරිස කව්රුවත් අධීක්ෂණය කරන්න ඕනේ නැහැ. තරුණ ප්‍රජාව බුද්ධිමත්. ඒ නිදහසේ ඉන්න එක නතර කර දැමීමෙන් වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇති කිරීමයි.”




