
පළපුරුදු රාජ්‍ය නිලධාරීන් ඉවත් කර දේශපාලන හිතවතුන් උසස් තනතුරුවලට පත් කිරීම හේතුවෙන් වත්මන් පාලනය තුළ බරපතළ ගැටලු මතුව ඇති බව ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා චෝදනා කරයි.

රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ වත්මන් භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එම ධුරය දැරීම සඳහා කිසිදු සුදුසුකමක් නොමැති බවයි.
මෛත්‍රී ගුණරත්න මහතා පවසන පරිදි, හර්ෂණ සූරියප්පෙරුම මහතා වසර 15ක් පමණ ඕස්ට්‍රේලියාවේ පවත්වාගෙන ගිය සමාගම පවා බංකොලොත් වී ඇති අතර ඔහු අසාර්ථක ව්‍යාපාරිකයෙකි.
එවැනි පුද්ගලයෙකු මෙරට මූල්‍ය පාලනයේ ඉහළම තනතුරකට පත් කිරීම පිළිබඳව ඔහු ප්‍රශ්න කර සිටියි.
සූරියප්පෙරුම මහතාට ඇති එකම සුදුසුකම ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙකු වීම පමණක් බව ගුණරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසන හරහා ජනාධිපතිවරයාගේ මිතුරන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ආ බවත්, ඉන් අනතුරුව සූරියප්පෙරුම මහතාව භාණ්ඩාගාරයට පත් කළ බවත් ඔහු සඳහන් කරයි.
භාණ්ඩාගාරයේ සිදුවන ඇතැම් කරුණු පිළිබඳව කැබිනට් මණ්ඩලය පවා දැනුවත් නැති බවට රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වන බව පෙන්වා දුන් මෛත්‍රී ගුණරත්න මහතා, භාණ්ඩාගාර ලේකම්වරයා ජනාධිපතිවරයාව නිසි පරිදි දැනුවත් කර නොමැති නම් ඔහු තවදුරටත් එම ධුරයේ තබා ගැනීමේ ප්‍රයෝජනය කුමක්දැයි ප්‍රශ්න කර සිටියි.
මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට නම් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවත්, හර්ෂණ සූරියප්පෙරුම මහතාව වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



