
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ පවුලේ පිරිස ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන් සහගත ප්‍රකාශ නිකුත් කෙරෙන බව සර්වජන බලය පවසයි.

එහි උපසභාපති ආචාර්ය චන්න ජයසුමන මහතා මේ බව ප්‍රකාශ කළේ, රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ මහතා නිදහස් කරන ලෙසට ඉල්ලමින් කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ (08) ආරම්භ වූ සත්‍යග්‍රහයට එක්වෙමිනි.
“සුරේෂ් සලේ මැතිතුමාගේ බිරිඳ සහ දරුවන්ට විරුද්ධව නින්දිත ආකාරයේ සමාජ මාධ්‍ය ත්රස්තවාදයක් මුදාහැර තිබෙනවා. අපි ඉල්ලනවා, ඉතාම ඕනෑකමින් ඉල්ලනවා. ඒ නෝනා මහත්තයාට, ඒ දරුවොන්ට මේ ආකාරයේ අවමන් කරන්න එපා සමාජ මාධ්‍යයෙන්. ඉතාම පැහැදිලි මේක වෙන කවුරුත් නෙවෙයි කරන්නේ. රජයේ ඇමතිවරුන්ගේ ඔවුන්ගෙ මාධ්‍ය ලේකම්කරුවන්ගේ සහ මාලිමාවේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජ මාධ්‍ය කාඩරය විසින් තමයි මේක කරන්නේ. ඒක ඉතාම කැතයි. නින්දිතයි.”
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ (08) පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ඒ , මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනි.
කෙසේවෙතත් සත්‍යග්‍රහය වෙනුවෙන් සකස්කළ තාවකාලික අට්ටාලය කඩා ඉවත්කිරීමට පොලිසිය කටයුතු කිරීම නිසා ඊයේ පස්වරුවේ එහි නොසන්සුන් තත්ත්වයක් මතුවිය.
සර්වජන බලය , ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයින් ඊට එක්ව සිටියහ.




