
කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩයක් නියම කර තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය විසින් අද (17) මෙම දඩය නියම කර ඇත්තේ, අදාළ චෝදනාවට විශ්ව කොඩිකාර වරද පිළිගැනීමෙන් අනතුරුවය.
වැල්ලවත්ත පොලිසියට ඊයේ (16) රාත්‍රියේ ලැබුණු තොරතුරක් මත වෙරළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක සිදුකළ වැටලීමකදී විශ්ව කොඩිකාර ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් පිරිස අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහිදී විශ්ව කොඩිකාර සන්තකයේ තිබී කොකේන් මිලිග්‍රෑම් 1,050ක් සොයාගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණයට දැනුම් දී තිබේ.
නඩු විභාගයේදී අදාළ වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් ඔහුට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇත.
එමෙන්ම, ඉදිරියේදී නැවතත් මෙවැනි වරදක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වුවහොත් පුනරුත්ථාපනය සඳහා යොමු කරන බවට මහේස්ත්‍රාත්වරිය විශ්ව කොඩිකාර ඇතුළු සැකකරුවන්ට අවවාද කර තිබේ.




