
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනාවලට වරදකරු වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට මරණ දඬුවම නියම කිරීමට හලාවත මහාධිකරණය අද (17) පස්වරුවේ නියෝග කර තිබේ.

2017 වසරේ මැයි මස 17 වැනිදා හලාවත, ආනවිලුන්දාව ප්‍රදේශයේදී හලාවත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.
එම වැටලීමේදී පොලිසිය භාරයට ගත් සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 211යි ග්‍රෑම් 818ක් බව අධිකරණයේදී අනාවරණය වී තිබේ.
පසුව සිදුකළ රජයේ රස පරීක්ෂක පරීක්ෂණයට අනුව, එම මත්ද්‍රව්‍ය තොගය තුළ තිබූ ශුද්ධ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 136යි ග්‍රෑම් 99ක් බව තහවුරු වී ඇත.
අදාළ මත්ද්‍රව්‍ය තොගය 2017 වසරේදී මෙරට පුද්ගලයෙකු සන්තකයේ තිබියදී පොලිස් භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙසද සඳහන් වේ.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 100කට ආසන්න බවද වාර්තා වේ.




