
කුලී රථ සේවා භාවිත කිරීමේදී සිදුවන සොරකම්, කොල්ලකෑම් සහ තර්ජනය කිරීම්වලින් ආරක්ෂා වීම සඳහා විශේෂ ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කුලී රථ රියදුරන් හෝ එම සේවාවලට සම්බන්ධ පුද්ගලයන් විසින් සිදුකරන අපරාධ පිළිබඳ වාර්තා වීමත් සමඟ මෙම උපදෙස් මාලාව නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් මහතා සඳහන් කළේය.
මගීන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන ආරක්ෂිත පියවර:
- වාහනයේ සහ රියදුරාගේ තොරතුරු තහවුරු කරගැනීම: ගමන ආරම්භ කිරීමට පෙර අදාළ වාහනය නිසි ලෙස ලියාපදිංචි වූ එකක්දැයි පරීක්ෂා කළ යුතුය. එහි ලියාපදිංචි අංකය, වාහන මාදිලිය සහ රියදුරාගේ නම නිවැරදිදැයි තහවුරු කරගන්න.
- Live Location හුවමාරු කරගැනීම: ගමනාන්තයට ළඟා වන තෙක් තමන් ගමන් කරන සජීවී ස්ථානය (Live Location) ජංගම දුරකථන හෝ Google Maps හරහා පවුලේ අයෙකුට, මිතුරෙකුට හෝ විශ්වාසවන්ත පුද්ගලයෙකුට යොමු කරන්න.
- නොදන්නා මාර්ග පිළිබඳ අවධානය: විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී, රියදුරු නොදන්නා, පාළු හෝ නොසිතූ මාර්ග ඔස්සේ වාහනය ගෙන යාමට උත්සාහ කරන්නේ නම් වඩාත් පරීක්ෂාකාරී වන්න.
- ආහාර හා බීම වර්ග ලබාගැනීමෙන් වැළකීම: ගමන අතරතුර නොදන්නා පුද්ගලයන් ලබාදෙන ආහාර, බීම හෝ ජලය ලබාගැනීමෙන් වළකින්න. මෙලෙස ලබාදෙන ආහාර හෝ බීම වර්ග නිසා මගීන් සිහිසුන් වූ අවස්ථා පිළිබඳව පොලිසියට වාර්තා වී ඇත.
- වටිනා කියන දේ ප්‍රදර්ශනය නොකිරීම: ගමන අතරතුර මුදල්, ලැප්ටොප්, ජංගම දුරකථන සහ රන් ආභරණ වැනි වටිනා ද්‍රව්‍ය බාහිරට ප්‍රදර්ශනය වන සේ තබාගැනීමෙන් වළකින්න.
ගමන අතරතුර යම් සැකකටයුතු තත්ත්වයක් හෝ තර්ජනයක් මතුවුවහොත්, වහාම 1119 පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ 118 හදිසි තොරතුරු සේවාවට අමතා වාහනයේ සහ සිදුවීමේ තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.
මෙම ආරක්ෂිත මාර්ගෝපදේශ කුලී රථ රියදුරන්ටද අදාළ වන අතර, මගීන් ප්‍රවාහනය කිරීමේදී නිසි ලෙස සහ වගකීමෙන් යුතුව හැසිරෙන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.




