
ජාතික ජන බලවේගය අද විපක්ෂයේ සිටියේ නම්, ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාට දිවයිනට පැමිණ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට හෝ ඉඩ නොතබනු ඇති බව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.
මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙරට නිල සංචාරය සහ ඒ හා සම්බන්ධ ගිවිසුම් පිළිබඳව වත්මන් පාලකයන් අනුගමනය කරන්නේ පරස්පර විරෝධී ප්‍රතිපත්තියක් බවයි.

වත්මන් පාලකයන් අතීතයේ විපක්ෂයේ සිටි සමයේදී මෙවැනි ගිවිසුම්ගතවීම්වලට එරෙහිව පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරමින් සහ සරසවි සිසුන් මහමඟට බස්සවමින් දැවැන්ත විරෝධතා සංවිධානය කළ ආකාරය සිහිපත් කළ උන්වහන්සේ, අද වන විට එම පාර්ශ්වයන්ම නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විමතියට කරුණක් බව පෙන්වා දුන්හ.
ඉන්දියාවට රටේ සම්පත් කොටස් හෝ ගෙඩිය පිටින් පවරා දීමේ සූදානමක් පවතින්නේදැයි ජනතාව තුළ සාධාරණ බියක් හා සැකයක් මතුව ඇති බව සඳහන් කළ සීලරතන හිමියන්, විදෙස් ඩයස්පෝරාව සහ ඉන්දියාව එක්ව රට අත්පත් කරගැනීමේ යටි අරමුණක් ක්‍රියාත්මක වන බවත්, වත්මන් පාලකයන්ට ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බවත් අවධාරණය කළහ.
එමෙන්ම, බලයට පත්වීමට පෙර එක් මතයක් දරමින් බලය ලැබුණු පසු ජනතා බලාපොරොත්තු සුන් කරන මෙවැනි දේශපාලන ක්‍රියාකලාපයන් හේතුවෙන් මෙරට පාලන ක්‍රමය දිගින් දිගටම අර්බුදයකට ලක්ව ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.




