
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් දැනට පැවැත්වෙන එංගලන්ත තරග සංචාරයෙන් ඉවත්ව යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අදාළ ආබාධය හේතුවෙන් හසරංගට එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගයටද ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණු අතර, ඔහු වෙනුවට කණ්ඩායමට එක් වූ සචිඳු කොළඹගේ සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීය.
හසරංගගේ ආබාධයේ නිශ්චිත තත්ත්වය පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරු වාර්තා වී නොමැති නමුත්, එංගලන්ත සංචාරයේ ඉතිරි තරග සඳහා ඔහුව ක්‍රීඩා කරවීමේ අවදානමක් නොගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය සහ තේරීම් කමිටුව තීරණය කර ඇති බව සඳහන් වේ.
පළමු එක්දින තරගයේදී සචිඳු කොළඹගේ දැක්වූ දක්ෂතාද සැලකිල්ලට ගනිමින්, හසරංගට සිය පිට ආශ්රිත ආබාධයට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සහ ප්‍රමාණවත් විවේකයක් ලබාදීමට ඔහුව නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට අපේක්ෂා කෙරේ.
එමඟින් ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන තරගාවලිය සඳහා හසරංගට සූදානම් වීමට අවශ්‍ය කාලය ලබාදීමද අරමුණ වී ඇති බව වාර්තා වේ.




