
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව ලබන නොවැම්බර් මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වැනිදා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව, 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 7 වැනිදා සිදු කිරීමට නියමිතය. මේ බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කර තිබේ.
මුදල් විෂය භාර අමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
එම විවාදයට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
මේ අතර, අයවැයේ කාරක සභා අවස්ථාවට අදාළ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබේ. අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60ක කාලයක් ද විපක්ෂයට සියයට 40ක කාලයක් ද වෙන් කිරීමට තීරණය කර ඇත. එමෙන්ම, කාරක සභා අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 40ක කාලයක් සහ විපක්ෂයට සියයට 60ක කාලයක් වෙන් කිරීමට නියමිතය.
අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.




