
ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාජික වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා නොමැති අතර ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බව කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, විශ්රාමික ජ්යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, උන්වහන්සේට සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස ලෙසය.
අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව හෝ අධිකරණයේ උත්තරීතරභාවය පිළිබඳව කිසිදු විරෝධයක් නොදක්වන නමුත්, බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පළවන මාධ්ය වාර්තා පිළිබඳව සිය අවධානය යොමුව ඇති බවද මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටී.
භික්ෂුවකට සිවුර පෙරවීම හෝ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ අදාළ භික්ෂුවට සහ උන්වහන්සේ අයත් මහා සංඝ සභාවට පමණක් වන බවද මෙම ලිපිය හරහා උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.
- උපුටා ගැනීම-
ගලගොඩ අත්තේ ඤාණසාර ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙනි
ගලගොඩ අත්තේ ඤාණසාර ස්ථවිරයන් වහන්සේ මහා විහාර වංශික ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රිධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවකි. උන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව පිළිබඳව කිසිදු විරෝධයක් හෝ අදහසක් අප ඉදිරිපත් නොකරන්නෙමු. එමෙන්ම අධිකරණයේ උත්තරීතර භාවය පිළිබඳ ඉහළින්ම පිළිගන්නෙමු. ඒ අතර බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්ය වාර්තා දුටුවෙමි.
භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවටය. එය අප රටේ දැනට තහවුරු වී ඇති ක්රමවේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන්ම සිදුවිය යුතු ශාසනික කාර්යයකි.
ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවකම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබාදීම මෙතෙක් ශාසනිකව හා අධ්යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්රදායික නීතියකි. එමෙන්ම එය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයකි.
ගලගොඩ අත්තේ ඤාණසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතල හේතුවක් උන්වහන්සේ අයත් අප සංඝ සභාව වෙත වාර්තාවී නොමැත. එමෙන්ම ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම අප සංඝ සභාවට අයත් වගකීමකි.
එබැවින් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර පිටින්ම පෙනී සිටීමට උන්වහන්සේට අවස්ථාව ලබාදෙන ලෙසත් කරුණාවෙන් දන්වමි.
- උපුටා ගැනීම අවසන් –




