
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්රී ලංකාව කැපී පෙනෙන සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් සහ රාජ්ය මූල්ය ප්රගතියක් අත්පත් කරගෙන ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල ප්රකාශ කරයි. වත්මන් වැඩසටහන ලබන මාර්තු මාසයේදී අවසන් වීමෙන් අනතුරුව, නව මූල්ය වැඩසටහනකට එළඹෙන්නේද යන්න තීරණය කිරීමේ පූර්ණ අභිමතය ශ්රී ලංකා රජය සතු බවත්, රජය අපේක්ෂා කරන ඕනෑම අයුරකින් සහාය ලබා දීමට තමන් සූදානම් බවත් අරමුදල අවධාරණය කරයි.

ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති විශේෂ මාධ්ය හමුවේදී, එම දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂිකා සොනාලි ජයින්-චන්ද්රා මහත්මිය මේ බව සඳහන් කළාය.
ශ්රී ලංකාවේ වත්මන් ප්රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කළ නියෝජ්ය අධ්යක්ෂවරිය පෙන්වා දුන්නේ, කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්රී ලංකාව ඉතා ශක්තිමත් මූල්ය කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති බවයි. විශේෂයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රජයේ බදු ආදායම් අනුපාතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, විදේශ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති බවත් ඇය සඳහන් කළාය.
එමෙන්ම මෙරට ආර්ථික අර්බුදයේ දරුණුතම කඩාවැටීමෙන් පසු, අඛණ්ඩව කාර්තු 11ක් පුරා ධන ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට ශ්රී ලංකාව සමත්ව තිබේ. මීට අමතරව රාජ්ය පාලනය හා දූෂණ විරෝධී ව්යුහාත්මක ප්රතිසංස්කරණ ක්ෂේත්රයේද සැලකිය යුතු ප්රගතියක් අත්කරගෙන ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
වත්මන් ණය වැඩසටහන අවසන් වීමට තවත් මාස කිහිපයක් ඉතිරිව ඇති අතර, ඊට අදාළව තවත් සමාලෝචන වාර දෙකක් සම්පූර්ණ කිරීමට නියමිතව තිබේ. ඔක්තෝබර් මස මුලදී එළඹි 7 වැනි කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ඉදිරි සතිවලදී විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර, ලබන වසරේ මාර්තු මාසයේදී වැඩසටහන නිමාවීමට පෙර අවසන් සමාලෝචන මෙහෙයුම ක්රියාත්මක වනු ඇත.
වත්මන් වැඩසටහන නිමාවීමෙන් පසු ශ්රී ලංකාව ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, නව මූල්ය පහසුකමක් ලබා ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ශ්රී ලංකා රජයේ අභිමතය පරිදි සිදුවිය යුතු බවයි. නව ණය පහසුකමක්, ආර්ථික නිරීක්ෂණ ප්රතිපත්ති උපදෙස් හෝ ධාරිතා සංවර්ධන සහාය යන ඕනෑම ක්රමවේදයක් ඔස්සේ ශ්රී ලංකාවට අවශ්ය ඕනෑම ආකාරයකින් සහාය වීමට ජාත්යන්තර මූල්ය අරමුදල කැපවී සිටින බව ඇය වැඩිදුරටත් තහවුරු කළාය.
2022 වසරේදී මෙරට ඇති වූ දරුණුතම ආර්ථික බිඳවැටීමෙන් අනතුරුව, 2023 මාර්තු මාසයේදී ශ්රී ලංකාව ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් සඳහා ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ගිවිසුම්ගත විය.
ශ්රී ලංකා ඉතිහාසයේ එළඹි 17 වැනි IMF වැඩසටහන මෙය වන අතර, 2028 වසරේ සිට මෙරට ප්රධාන විදේශ ණය වාරික ආපසු ගෙවීම ආරම්භ වීමට නියමිත බැවින්, පවතින වැඩසටහන ලබන වසරේ මාර්තු මස අවසන් වීමෙන් පසු තවත් තාක්ෂණික හෝ මූල්ය වැඩසටහනකට එළඹෙන්නේද යන්න පිළිබඳව අවධානයක් යොමුව තිබේ.




