
ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීම හේතුවෙන් රුපියල් 8,442,091ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව හමුවට ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ පාලනාධිකාරිය කැඳවා තිබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
විශ්වවිද්යාලයට අදාළ 2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා මෙන්ම එහි වර්තමාන කාර්යසාධනය සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම මෙම රැස්වීමේ අරමුණ විය.
තඹ පටි සොරකමට දෙදෙනෙකු අත්අඩංගුවට
2022 සහ 2023 වර්ෂවලදී සිදුව ඇති මෙම තඹ පටි සොරකම සම්බන්ධයෙන් සිවිල් කොන්ත්රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව කාරක සභාව හමුවේ අනාවරණය විය.
කෙසේ වෙතත්, සොරකම් කළ තඹ පටිවල මුළු ප්රමාණය සහ පොලීසිය විසින් සොයාගත් ප්රමාණය අතර පවතින වෙනස්කම් සම්බන්ධයෙන් කාරක සභාව ප්රශ්න කළේය.
එමෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවල සඳහන් මිනුම් අතර පවතින පරස්පරතා පිළිබඳවද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.
අකුණු සන්නායක පද්ධතියට තඹ වෙනුවට ඇලුමිනියම්
රෝහලේ දේපළ කළමනාකරණය සහ අභ්යන්තර පාලන ක්රමවේදවල පවතින දුර්වලතා පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
රෝහල ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි දේපළ සහ ඒවායේ ප්රමාණ පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොතිබීම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිසි පරිදි නිලධාරීන්ට පවරා නොතිබීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම යන කරුණු මෙහිදී අවධානයට ලක්විය.
විශේෂයෙන්ම සොරකමෙන් අනතුරුව අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීම සම්බන්ධයෙන් කාරක සභාව ප්රශ්න කර තිබේ.
එලෙස ඇලුමිනියම් භාවිත කිරීමෙන් අකුණු සන්නායක පද්ධතියේ තාක්ෂණික ප්රමිතීන් සහ ආරක්ෂාව නිසි පරිදි තහවුරු කර තිබේද යන්න පිළිබඳවද බලධාරීන්ගෙන් කරුණු විමසා ඇත.
ඇඳන් 800කට අධික රෝහලේ වාට්ටු සහ ශල්යාගාර නිසි ලෙස භාවිතයට නොගැනීම ගැනත් ප්රශ්න
ඇඳන් 800කට අධික ධාරිතාවකින් යුත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ ඇතැම් වාට්ටු, ශල්යාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.
වෛද්යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස කරුණු විමසා තිබේ.
රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කිරීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේද, නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේද යන්න කඩිනමින් තීරණය කළ යුතු බව කාරක සභාව අවධාරණය කළේය.
ඒ අනුව අදාළ තීරණය කඩිනමින් ගෙන අවශ්ය ක්රියාමාර්ග ක්රියාත්මක කරන ලෙස රෝහල් පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
එවැනි පැහැදිලි තීරණයකට එළඹීමට අපොහොසත් වුවහොත් රෝහල තුළ දැනට පවතින ගැටලු තවදුරටත් උග්ර විය හැකි බවද කාරක සභාව පෙන්වා දුන්නේය.
විදේශ ණය සහ ඉදිකිරීම් ප්රමාදයන් ගැනත් අවධානය
රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම ශ්රවණාගාර ඉදිකිරීම් ව්යාපෘතියේ දීර්ඝකාලීන ප්රමාදය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට අනුබද්ධ CUE Technologies Lanka (Pvt) Ltd සමාගමේ මූල්ය හා පරිපාලන පාලනය සම්බන්ධයෙන් විගණන වාර්තාවල සඳහන් නිරීක්ෂණද කාරක සභාවේ අවධානයට ලක්විය.
විශ්වවිද්යාලයේ පාලන ව්යුහය වඩාත් විධිමත් කිරීම සහ හඳුනාගෙන ඇති පරිපාලන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා දැනට පවතින විශ්වවිද්යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.
මීට පෙර හඳුනාගෙන ඇති අඩුපාඩු සැලකිල්ලට ගනිමින් පනත සංශෝධනය කිරීමේ ක්රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්ය උපදෙස් ලබාදී ඇති බවත්, ඒ සඳහා අදාළ නීතිමය හා පරිපාලන කටයුතු කඩිනම් කළ යුතු බවත් කාරක සභාවේදී පෙන්වා දෙන ලදී.
රාජ්ය සම්පත් ඵලදායීව භාවිත කිරීමේ අවශ්යතාව අවධාරණය කරයි
රෝහලේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම, වෛද්යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබාදීම සහ ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම විශ්වවිද්යාලයේ මූල්ය හා පරිපාලන පාලන ක්රමවේද ශක්තිමත් කිරීම මගින් රාජ්ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, මුජිබුර් රහුමාන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, වෛද්ය එස්. ශ්රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්රාමික) ප්රගීත් මධුරංග, ජගත් මනුවණ, සුනිල් රාජපක්ෂ, අසිත නිරෝෂණ එගොඩවිතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ඊට අමතරව ත්රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.




