
ග්රාමීය සංවර්ධනය, රාජ්ය ආයෝජන, බලශක්තිය, වරාය, සංචාරක කර්මාන්තය සහ තාක්ෂණය සම්බන්ධයෙන් රජයේ ඉදිරි සැලසුම් පැහැදිලි කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ නව ගිවිසුමකට එළඹීමේ හැකියාව ද විවෘතව තබයි.

ශ්රී ලංකාවේ අනාගත ආර්ථික ප්රතිපත්තිය, ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සමඟ ඉදිරියේදී ක්රියාත්මක කිරීමට නියමිත වැඩසටහන සහ රටේ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා වැදගත් අනාවරණයක් සිදු කළේය. ඒ, ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැංග්රිලා හෝටලයේ සංවිධානය කර තිබූ ආර්ථික සමුළුවක් අමතමිනි. “වෙනස් වන ගෝලීය ආර්ථිකය තුළ ශ්රී ලංකාව ස්ථානගත කිරීම: ඔරොත්තු දීමේ හැකියාව, ප්රතිසංස්කරණ සහ ආර්ථික ප්රතිපත්තියේ අනාගතය” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.
විදේශීය සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීම, අපනයන පුළුල් කිරීම සහ තිරසර ආර්ථික වර්ධනයක් ප්රවර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා හඳුනාගැනීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ශ්රී ලංකාවේ ආයෝජන හැකියාව ජාත්යන්තර ප්රජාවට ප්රදර්ශනය කිරීම සහ රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනය වෙනුවෙන් රාජ්ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සමුළුවේ ප්රධාන අරමුණ විය.
රාජ්ය හා පෞද්ගලික අංශ නියෝජිතයන්, ප්රතිපත්ති සම්පාදකයන්, ව්යාපාරික නායකයන් සහ ජාත්යන්තර ආයෝජකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. එහිදී ආර්ථික ක්ෂේත්රයේ විශේෂඥයන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ප්රශ්න සහ ඒවාට ඔහු ලබාදුන් සවිස්තරාත්මක පිළිතුරු පහතින් දැක්වේ.
ප්රශ්නය:
ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ දුප්පත්කම තුරන් කිරීමට විශේෂ වැඩසටහනක් ක්රියාත්මක වෙනවා. ඒ වගේම මිලියන 5කට ආසන්න පිරිසක් අස්වැසුම ප්රතිලාභ ලබනවා. මෙම පිරිස ආර්ථික ක්රියාවලියට සම්බන්ධ කරගන්නේ කොහොමද?
පිළිතුර:
අපේ ප්රධාන අභියෝගය තමයි ග්රාමීය දුප්පත්කම තුරන් කිරීම. මෑතකදී ඉදිරිපත් කළ ලෝක බැංකු වාර්තාවකට අනුව ග්රාමීය දුප්පත්කම තවමත් 16.9%ක මට්ටමක පවතිනවා. මෙය ගොඩනැගිල්ලක් හෝ මාර්ගයක් ඉදිකරනවා වගේ වසරකින් හෝ දෙකකින් අවසන් කළ හැකි කාර්යයක් නොවෙයි. ඒ සඳහා සැලසුම් සහගත, ඉලක්කගත සහ අඛණ්ඩ වැඩපිළිවෙළක් අවශ්යයි.
ඕනෑම රටක රජය විසින් රැකබලා ගත යුතු අවදානමට ලක්විය හැකි සමාජ කණ්ඩායමක් සිටිනවා. ඔවුන් අත්හැර දැමිය නොහැකියි. සෑම පුද්ගලයෙකුටම ආර්ථික ක්රියාවලියේ සක්රීය කොටස්කරුවෙකු වීමට හැකියාවක් නැහැ. එවැනි සමාජ කණ්ඩායම් යම් සමාජ ආරක්ෂණ ජාලයක් හරහා රැකබලා ගත යුතුයි. නමුත් අද අප මුහුණ දෙන ගැටලුව වන්නේ එම සමාජ කණ්ඩායම ඉතා විශාල වීමයි. ග්රාමීය ජනතාව වෙනුවෙන් නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට නොහැකි වීම ඊට ප්රධාන හේතුවක්.
ග්රාමීය ජනතාවට පවතින්නේ ඉතා සීමිත ආර්ථික අවස්ථා කිහිපයක් පමණයි. ඒ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය හෝ කුඩා සිල්ලර වෙළෙඳසැලක් පවත්වාගෙන යාම වැනි කටයුතුයි. ඒ නිසා දුප්පත්කම තුරන් කිරීමේ පළමු අභියෝගය වන්නේ ඔවුන් වෙනුවෙන් නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමයි. දීර්ඝ කාලයක් අපේ කෘෂිකර්මාන්තය වාණිජ ආර්ථිකයක් වෙනුවට යැපුම් මට්ටමේ ආර්ථිකයක් ලෙස පැවතුණා. එබැවින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන අතරම නව ආර්ථික අවස්ථා ද නිර්මාණය කළ යුතුයි.
ග්රාමීය ජනතාව තමන්ගේම ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට උත්සාහ කිරීමේදී ප්රාග්ධනය, නව තාක්ෂණය සහ වෙළෙඳපොළ නොමැති වීම ප්රධාන බාධාවක් වුණා. එබැවින් එම අවශ්යතා සපුරාලීම අපගේ වගකීමක්. ප්රාග්ධනය නොමැති ග්රාමීය ව්යවසායකයන් වෙනුවෙන් අපි දැනටමත් පොලී රහිත ණය යෝජනා ක්රමයක් ආරම්භ කර තිබෙනවා. එම ණය යෝජනා ක්රමය හරහා මේ වන විට රුපියල් බිලියන 18කට ආසන්න මුදලක් ලබාදී ඇති අතර, ඒ තුළින් නව ව්යවසායකයන් ද බිහි වී තිබෙනවා.
නව තාක්ෂණය ද මෙම ක්රියාවලියට ගැළපෙන ආකාරයෙන් යොදාගත යුතුයි. ඒ වගේම රජය විසින් උත්පාදනය කරන ධනය ග්රාමීය ජනතාව වෙත ගලා යාමට සැලැස්විය යුතුයි. ඒ සඳහා අපි උපායමාර්ග දෙකක් අනුගමනය කරනවා. ප්රධාන වශයෙන් ග්රාමීය සංවර්ධන මාවතක් අවශ්යයි. ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් කුඩා වැව් සහ ඇළ මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 35ක් වෙන් කර තිබෙනවා.
ජනශක්ති ග්රාමීය වැඩසටහන සඳහා රුපියල් බිලියන 25ක් සහ මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ග්රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 24ක් ඇතුළුව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් ග්රාමීය ජනතාව වෙනුවෙන් යොමු කර තිබෙනවා. ගම්වැසියන් තමන්ගේ ගම්මානවලම රඳවා ගනිමින් සංවර්ධන ක්රියාවලියක් ක්රියාත්මක කිරීම අපගේ ආර්ථික උපායමාර්ගයයි.
ඒ අනුව 2027 අයවැය හරහා ගම සහ නගරය අතර වේගවත් සන්නිවේදන පද්ධතියක් සහ සංවර්ධිත මාර්ග ජාලයක් නිර්මාණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ග්රාමීය දුප්පත්කමට විසඳුම් සෙවිය යුත්තේ මෙවැනි වැඩසටහන් හරහායි. අද විසඳුම් සෙවූ පමණින් හෙට ප්රතිඵල ලැබෙන කාර්යයක් නොවෙයි. මෙය අඛණ්ඩ සැලැස්මක් සහිත දිගුකාලීන වැඩපිළිවෙළක්. අපි එය දැනටමත් ආරම්භ කර තිබෙනවා.
ප්රශ්නය:
ආයෝජන ව්යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීමට ගතවන කාලය අඩු කරන්නේ කොහොමද?
පිළිතුර:
ඉදිරි අයවැය හරහා රුපියල් ට්රිලියන 2ක ප්රාග්ධන වියදමක් සැලසුම් කර තිබෙනවා. එය අතීතයට සාපේක්ෂව ඉතා විශාල වැඩිවීමක්. 2023 වසරේ රජය වෙන් කළ ප්රාග්ධන වියදම්වලින් වැය කර තිබුණේ 64%ක් පමණයි. 2024 වසරේ එය 54%ක් වුණා. නමුත් මැතිවරණ සහ ස්වාභාවික ආපදා පැවති 2025 වසරේදී පවා එම අගය 76% දක්වා ඉහළ නැංවීමට අපට හැකි වුණා.
අපේ රටේ රාජ්ය යන්ත්රණය නිරන්තරයෙන් දූෂණයට සම්බන්ධ බවට මතයක් පැවතුණා. එය වැළැක්වීමේ අරමුණින් අතීතයේදී පියවරෙන් පියවර හඳුන්වා දුන් නීති නිසා අද කිසිදු කාර්යයක් ඉක්මනින් සිදුකළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. පැරණි ක්රමවේදය සකස් කර තිබුණේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි. නමුත් අද අපි මිලදී ගන්නේ භාණ්ඩ පමණක් නොවෙයි. මෘදුකාංග පද්ධති හරහා විසඳුම් ද මිලදී ගන්නවා. එහෙත් එවැනි ක්රමවේදයක් අපගේ ප්රසම්පාදන ක්රියාවලිය තුළ නැහැ.
ඒ නිසා එවැනි විශේෂ ක්ෂේත්ර හඳුනාගෙන නව ප්රසම්පාදන ක්රමවේදයක් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැරණි ක්රමය යටතේ ප්රසම්පාදන කටයුතු ආරම්භ වන්නේ අයවැය සම්මත වී මුදල් වෙන් කිරීමෙන් පසුවයි. බොහෝ විට එම ප්රසම්පාදන කටයුතු අවසන් වන විට අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය උදා වී තිබෙනවා. නමුත් දැන් අපි එම ගැටලුව විසඳා තිබෙනවා.
භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මුදල් වෙන් කර ඇති බව සහතික කළ වහාම ටෙන්ඩර් කැඳවා සැපයුම්කරුවන් තෝරාගත හැකියි. ඊට උදාහරණයක් වන්නේ කුරුණෑගල – ගලේවෙල අධිවේගී මාර්ගයයි. ඒ අනුව ජනවාරි මාසය පමණ වන විට අදාළ ටෙන්ඩරය ප්රදානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
අපි විද්යුත් ප්රසම්පාදන ක්රියාවලියකට ද යොමු විය යුතුයි. ඒ වගේම විශේෂිත කුසලතා සහිත පුද්ගලයන් විශේෂ වැටුප් ක්රමයක් යටතේ රාජ්ය සේවය තුළ රඳවා ගැනීමට ද පියවර ගනිමින් සිටිනවා. ප්රාග්ධන වියදම් ක්රියාත්මක කිරීමේ ප්රතිශතය 100%කට ආසන්න මට්ටමකට ගෙන යා හැක්කේ එවැනි ක්රියාමාර්ග හරහායි.
ප්රශ්නය:
පසුගිය කාලයේ රේගු නීති, කම්කරු නීති, රාජ්ය හා පෞද්ගලික හවුල්කාරිත්ව නීති සහ රාජ්ය ව්යවසාය කළමනාකරණ නීති සම්බන්ධයෙන් සාකච්ඡා වුණා නේද?
පිළිතුර:
රාජ්ය ව්යවසාය (SOEs) සම්බන්ධ නීතිය සති දෙකකින් පමණ අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඉන්පසුව එය ඉක්මනින් ගැසට් කළ හැකියි. රාජ්ය හා පෞද්ගලික හවුල්කාරිත්ව නීතිය මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් සකස් කර නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. නීතිපතිවරයාගේ නිර්දේශ අනුව එහි ඉදිරි කටයුතු සිදුකළ හැකියි.
අපේ කම්කරු නීති විවිධ ආකාරයේ පනත් 12කට පමණ බෙදී තිබෙනවා. ඒ සඳහා දැනටමත් පනත් කෙටුම්පතක් සකස් කර තිබෙනවා. යම් කාලයක් ගත වුවත් ඉතා ඉක්මනින් එය නැවත සමාලෝචනය කරනවා. ඒ වගේම රේගු ආඥාපනත සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය සහ රේගු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ අදහස් පිළිබඳව දීර්ඝ කාලයකට පසුව එකඟතාවකට පැමිණීමට අපට හැකි වී තිබෙනවා.
වඩාත් සුදුසු යෝජනාව වන්නේ රේගු ආඥාපනත සංශෝධනය කිරීමයි. ඒ සඳහා වන යෝජනා මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි මම සිතනවා. ඔවුන් එය ඉක්මනින් සකස් කර ඉදිරිපත් කරාවි. බොහෝ විට මෙම සියලු පනත් කෙටුම්පත් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට හැකි වේවි.
ප්රශ්නය:
සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් කලාපීය රටවල ප්රවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම පිළිබඳව අපි කතා කරනවා. ඔබ කියන්නේ අපගේ ප්රසම්පාදන ක්රියාවලිය ඊට බලපාන බවද? ඒ සඳහා මුදල් වෙන් කළ නොහැකිද?
පිළිතුර:
ඔව්. අපි ප්රවර්ධන සැලැස්මක් මිලදී ගන්නේ කොහොමද? අපේ ප්රසම්පාදන ක්රමය අනුව මේසයක් මිලදී ගන්න පුළුවන්. නමුත් ප්රවර්ධන ප්රචාරණ වැඩසටහනක් කියන්නේ මොකක්ද? එය අදහසක්. අපි අදහසක් මිලදී ගන්නේ කොහොමද? ඒ අනුව අපගේ ප්රසම්පාදන ක්රමවේදය වෙනස් විය යුතුයි.
කෙනෙකුට කියන්න පුළුවන් අතීතයේදී මේ දේවල් කළා කියලා. ඒවා කළේ කොහොමද? එක් ආයතනයක් හොඳයි කියලා තෝරාගෙන අනෙක් ආයතනය තෝරා නොගැනීමෙන්. මෙය මනින්නේ කවුද? කුමන පදනමක් මතද? මෙම ප්රවර්ධන කටයුතු සඳහා මේ වන විට වසර එකහමාරක පමණ කාලයක සිට උත්සාහයන් ගනිමින් සිටිනවා. සංචාරක අධිකාරිය පවසන්නේ ජනවාරි මාසයේදී ටෙන්ඩර් කැඳවන බවයි.
ඊට අමතරව සංචාරක අධිකාරිය රටවල් පහක කුඩා පරිමාණයේ ප්රවර්ධන ව්යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්රයේ නිරත ව්යාපාරික සංවිධාන විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ද තිබෙනවා. අපි ඒ පිළිබඳවත් සොයා බලමින් සිටිනවා. ඔවුන් මෙවර ගෙන එන සංචාරකයන් සංඛ්යාවට වඩා නිශ්චිත ප්රතිශතයකින් වැඩි සංචාරකයන් පිරිසක් ගෙන එන්නේ නම්, එම ඉලක්කය ඉක්මවා ගෙන එන සංචාරකයන් වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීමට ශ්රී ලංකා සංචාරක අධිකාරියට ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කරනවා.
ප්රශ්නය:
රජය පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. බැටරි මගින් බලශක්තිය ගබඩා කිරීමේ ධාරිතාව වැඩි කිරීමට ද පියවර ගනිමින් සිටින බව පෙනෙනවා. මේ සඳහා පෞද්ගලික අංශය මෙන්ම වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති ද සම්බන්ධ කරගත යුතු බව අපි විශ්වාස කරනවා. ඉදිරියේදී ගෙවීම් ක්රමවේදයේ සංශෝධන අපේක්ෂා කළ හැකිද? ඒ වගේම විදුලි සම්ප්රේෂණ ජාලය සංවර්ධනය කිරීම පිළිබඳව ඇති සැලසුම් මොනවාද?
පිළිතුර:
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කිලිනොච්චියේ සිට හබරණ දක්වා ඉහළ ධාරිතාවයකින් යුත් විදුලි සම්ප්රේෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ශ්රී ලංකා රජය බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පුත්තලම – වාරියපොළ සහ හබරණ – වේයන්ගොඩ වැනි තවත් සම්ප්රේෂණ පද්ධති කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. ඒවා පෞද්ගලික අංශය හරහා ඉදිකිරීමට අපි සැලසුම් කර තිබෙනවා.
මෙතෙක් ශ්රී ලංකාවේ සියලුම විදුලි සම්ප්රේෂණ පද්ධති ඉදිකළේ ලංකා විදුලිබල මණ්ඩලයයි. එම සම්ප්රේෂණ පද්ධති සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දැනටමත් විදුලි සම්ප්රේෂණ මාර්ග හතරක් තෝරාගෙන තිබෙනවා. ඉතා ඉක්මනින් ඒවා සඳහා ටෙන්ඩර් කැඳවනවා. එවිට පෞද්ගලික අංශයට විදුලි සම්ප්රේෂණ පද්ධතියට සම්බන්ධ විය හැකියි.
බලශක්ති ක්ෂේත්රය පිළිබඳ අවධානය යොමු කිරීමේදී අපි බලශක්ති සැපයුමේ ස්ථාවරත්වය සහ අඛණ්ඩතාව මෙන්ම ඒ සඳහා වැයවන පිරිවැය පිළිබඳවත් අවධානය යොමු කරනවා. අපගේ බලශක්ති ප්රතිපත්තිය ගොඩනැගී තිබෙන්නේ මෙම කරුණු දෙක මතයි. ස්ථාවර විදුලි මිලදී ගැනීමේ ගාස්තු ක්රමය (Feed-in Tariff) ටෙන්ඩර් ක්රමයක් නොවෙයි. එහිදී අපි මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙන මිලකට විදුලිය මිලදී ගන්නවා.
නමුත් බලශක්තිය මිලදී ගැනීමේ පිරිවැය අඩු කිරීමේ දෙවන උපායමාර්ගය සලකා බැලීමේදී එම ක්රමය සුදුසු නැහැ. ස්ථාවර මිලකට විදුලිය මිලදී ගැනීම වෙනුවට විවෘත තරගකාරී ටෙන්ඩර් ක්රියාවලියක් අනුගමනය කිරීමෙන් අපට වඩාත් වාසිදායක මිලකට විදුලිය ලබාගත හැකියි. උදාහරණයක් ලෙස අපි රජය භාරගන්නා විට මන්නාරමේ සුළං විදුලි ව්යාපෘතියක් තිබුණා. එහිදී විදුලි ඒකකයක් ඇමෙරිකානු ශත 8.22කට මිලදී ගැනීමට එකඟ වී තිබුණා.
අදාළ සමාගම සමඟ සාකච්ඡා කර ඇමෙරිකානු ශත 5කට අඩු මිලකට විදුලිය ලබාදීමට සූදානම් නම් අපි එය මිලදී ගැනීමට සූදානම් බව දැනුම් දුන්නා. නමුත් ඔවුන් එම මිලට එකඟ නොවූ නිසා ගිවිසුම අහෝසි වුණා. ඉන්පසුව අපි මෙගාවොට් 50 බැගින් වූ ටෙන්ඩර් දෙකක් කැඳවූවා. පළමු මෙගාවොට් 50 සඳහා ඇමෙරිකානු ශත 3.96ක මිලක් ලැබුණා. දෙවන ටෙන්ඩරයේ මෙගාවොට් 50 සඳහා ඇමෙරිකානු ශත 3.74ක මිලක් ලැබුණා. අපට වැඩි වාසියක් ලබාදෙන්නේ මෙවැනි තරගකාරීත්වයයි.
අපගේ රජය පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ බවට මතයක් පැවතුණා. අපි රජය භාරගන්නා විට සමස්ත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,400ක් වුණා. නමුත් මෙම වසර දෙක තුළ අලුතින් මෙගාවොට් 1,500ක ධාරිතාවක් එකතු කර තිබෙනවා. තවත් මෙගාවොට් 1,100ක් සඳහා ගිවිසුම්වලට එළඹ තිබෙනවා. ඒ අනුව අපගේ රජය යටතේ සූර්ය බලශක්තියෙන් අලුතින් මෙගාවොට් 2,600ක ධාරිතාවක් එකතු වෙනවා.
පුනර්ජනනීය බලශක්තියේ අනෙක් පැත්ත වන්නේ ඒ සඳහා විශාල භූමි ප්රමාණයක් අවශ්ය වීමයි. අප වැනි කුඩා රටක් එතරම් භූමි ප්රමාණයක් ඒ සඳහා වෙන් කළ යුතුද යන්න ගැටලුවක්. ඒ නිසා ජලාශ මත පාවෙන සූර්ය පැනල පද්ධති පිළිබඳ සංකල්පය අනුව ඉබ්බන්කටුව වැවේ මෙගාවොට් 5ක ව්යාපෘතියක් ආරම්භ කළා. අක්කර 1,000ක ජලාශයෙන් අපි භාවිත කළේ අක්කර 10ක් පමණයි. එය 1%ක්. එහිදී අපගේ ගොඩබිම් ප්රදේශ භාවිත කිරීමට අවශ්ය වන්නේ නැහැ.
දැන් අපි රන්දෙණිගල ව්යාපෘතිය ආරම්භ කර තිබෙනවා. මොරගහකන්ද, සමනලවැව සහ චන්ද්රිකා වැව වැනි තෝරාගත් ජලාශ කිහිපයක පාවෙන සූර්ය පැනල පද්ධති ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සූර්ය බලශක්ති උත්පාදනය දිවා කාලයේදී වැඩි වන නිසා එය රාත්රී කාලයේ භාවිතය සඳහා ගබඩා කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි මේ වන විට මෙගාවොට් 160ක ටෙන්ඩරයක් කැඳවා තිබෙනවා.
ඒ වගේම බැටරි ගබඩා පද්ධති සඳහා මෙගාවොට් 250ක ටෙන්ඩරයක් ද කැඳවා තිබෙනවා. එය මේ වන විට ඇගයීමට ලක්වෙමින් පවතිනවා. මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව, පළමු මෙගාවොට් 160ට සාපේක්ෂව මෙම මෙගාවොට් 250ක ටෙන්ඩරය හරහා මිල ගණන් 10%කින් පමණ අඩු වී ඇති බව සතුටින් ප්රකාශ කරන්න පුළුවන්. ඉදිරියේදී දැනට සූර්ය බලශක්ති ව්යාපෘති හිමි පුද්ගලයන් වෙනුවෙන් තවත් මෙගාවොට් 150ක ටෙන්ඩරයක් කැඳවීමට බලාපොරොත්තු වෙනවා.
වර්තමානයේ සමස්ත විදුලි උත්පාදන ධාරිතාවෙන් 69%ක් පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයි. පසුගිය දින හතර තුළ විදුලිය නිෂ්පාදනය සඳහා අපි ඩීසල් ලීටරයක්වත් භාවිත කර නැහැ. ඒ නිසා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය කරා යන මෙම ගමන ඉතා සාර්ථකයි. සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම මෙන්ම අඛණ්ඩ බලශක්ති සැපයුමක් පවත්වාගෙන යාම අපගේ අපේක්ෂාවයි.
ප්රශ්නය:
සිංගප්පූරුව වැනි රටක වරාය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට 7%ත් 8%ත් අතර දායකත්වයක් ලබාදෙනවා. නමුත් ශ්රී ලංකාවේ එය තවමත් 2%ත් 3%ත් අතර මට්ටමක පවතින්නේ ඇයි?
පිළිතුර:
අපගේ ආර්ථික උපායමාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ වරායයි. වර්තමානයේ වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය හසුරුවන්නේ බහාලුම් මිලියන 0.5ක් පමණයි. නමුත් නැගෙනහිර පර්යන්තයට බහාලුම් මිලියන 3.2ක් හැසිරවීමේ ධාරිතාවක් තිබෙනවා. අපි දිනෙන් දින මෙම සම්පතෙන් උපරිම ප්රයෝජනය ලබාගන්නේ නැහැ.
නැගෙනහිර පර්යන්තයේ බහාලුම් හැසිරවීමේ කාර්යය රජයට පමණක් සිදුකළ හැකි බව මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා පර්යන්තයේ අයිතිය රජය සතුව තබා ගනිමින් එහි කළමනාකරණය සඳහා සමාගමක් පිහිටුවීමටත්, එම සමාගමේ කොටස් පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමටත් අමාත්ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය සම්බන්ධයෙන් ලෝකයේ ප්රබල නාවික ප්රවාහන සමාගම් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටිනවා.
ඊළඟට බටහිර පර්යන්තයේ දෙවන අදියර තිබෙනවා. එහි දියකඩනය ඉදිකළ යුතුයි. ඒ සඳහා දැන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් වැය වෙනවා. එම මුදල වැය කර බටහිර පර්යන්තයේ දියකඩනය ඉදිකළහොත් එහිත් බහාලුම් මිලියන 3.2ක් මෙහෙයවිය හැකියි. මූලික අධ්යයන කටයුතු සඳහා ඉදිරි අයවැයෙන් ප්රතිපාදන වෙන් කරනවා.
ආසියානු සංවර්ධන බැංකුව මේ වන විටත් ශක්යතා අධ්යයන වාර්තාව සකස් කරමින් සිටිනවා. එහි අතුරු වාර්තාව මෙම දෙසැම්බර් මාසය වන විටත් සම්පූර්ණ වාර්තාව ලබන අප්රේල් මාසය වන විටත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පර්යන්ත පද්ධතිය සංවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඊළඟට වරාය කියන්නේ බහාලුම් හුවමාරු කරන ස්ථානයක් පමණද? වරාය සැපයුම් හා භාණ්ඩ ප්රවාහන සේවා මධ්යස්ථානයක් ලෙසත් සංවර්ධනය කළ හැකියි. ඒ සඳහා වූ ටෙන්ඩර් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් විශාල ගැටලු පැවතුණා. දැන් එම සියලු ගැටලු අවසන් වී ඇති අතර, අදාළ වන්දි මුදල් ගෙවා එම කටයුතු අවසන් කිරීමට සමාගම් සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා.
වරාය තුළ පවතින බහාලුම් තදබදය අවම කිරීම සඳහා කෙරවලපිටියේ අක්කර 150ක බහාලුම් අංගණයක් ඉදිකිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. නැව්වලට ඉන්ධන සැපයීමේදී (Bunkering) අය කරන බදු සම්බන්ධයෙන් ද ගැටලුවක් තිබෙනවා. ඒ පිළිබඳවත් අපි සලකා බලමින් සිටින අතර, ඉදිරි අයවැයෙන් සහන ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය:
රාජ්ය හා පෞද්ගලික විශ්වවිද්යාලවලින් වාර්ෂිකව 17,000ක පමණ පිරිසක් විශාල දත්ත විශ්ලේෂණය (Big Data) සහ කෘත්රිම බුද්ධිය (AI) වැනි නව ක්ෂේත්රවලට පිවිසුණත්, ප්රමාණවත් රැකියා අවස්ථා නොමැති වීම විශාල ගැටලුවක්. තාක්ෂණ ක්ෂේත්රය ඉදිරියට ගෙන යන්නේ කොහොමද?
පිළිතුර:
සැබෑ ගැටලුව වන්නේ අපි නිර්මාණය කරන මෙම කුසලතා සහිත ශ්රම බලකාය සිටින්නේ කුමන මට්ටමකද යන්නයි. ඔවුන් සිටින්නේ මධ්යම මට්ටමේයි. රැකියා අර්බුදය නිර්මාණය වී තිබෙන්නේ එතැනයි. අපි එයට වඩා ඉහළ මට්ටමකට ගියහොත් රැකියා අවස්ථා තවදුරටත් පුළුල් වෙනවා. රාජ්ය අංශයෙන් ද රැකියා අවස්ථා විශාල වශයෙන් පුළුල් වෙමින් තිබෙනවා. ව්යාපාරික ක්ෂේත්රය සලකා බැලීමේදී දේශීය කර්මාන්තවලටත් කුසලතා සහිත පුද්ගලයන් අවශ්යයි.
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධි (AI) මධ්යස්ථානයක් ස්ථාපිත කිරීම කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා. එය සිංගප්පූරුව සමඟ එක්ව ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. අදාළ අමාත්ය මණ්ඩල පත්රිකාව ලබන සතියේ අනුමත කරගත හැකි බව මම විශ්වාස කරනවා. මෙම කුසලතා තවදුරටත් ඉහළ නැංවීම තුළින් වර්තමාන අර්බුදවලට විසඳුම් සෙවිය යුතු බව අපගේ විශ්වාසයයි.
ඒ වගේම ව්යාපාරික ක්රියාවලි බාහිරකරණ සේවා (BPO) වැනි ආයතන හරහා මාර්ගගත රැකියා ක්රම තවදුරටත් පුළුල් කර ජාත්යන්තර අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ තුළින් විසඳුම් ලබාගත හැකියි. උපාධි පාඨමාලා පවා මෙම මට්ටමෙන් ඉහළට ගෙන යා යුතුයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය විශාල වශයෙන් දියුණු වී තිබුණත්, අපට අවශ්ය කුසලතා සහිත උපාධිධාරීන් බිහි කිරීමට අපි අසමත් වී තිබෙනවා. ඒ නිසා අපගේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තවත් මට්ටම් දෙකකින් හෝ තුනකින් ඉහළට ගෙන යා යුතුයි.
ප්රශ්නය:
ජනාධිපතිතුමනි, මැදපෙරදිග අර්බුදයත් සමඟ මේ වන විට ඩීසල් සඳහා සහනාධාරයක් ලබාදෙනවා. මෙම යුද්ධය තවත් වසර දෙකක් පමණ දිග්ගැස්සුණහොත් එම සහනාධාරය දිගටම ලබාදෙනවාද? නැතහොත් ඉලක්කගත ආර්ථික උත්තේජන වැඩපිළිවෙළකට යොමු වෙනවාද?
පිළිතුර:
මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව අපගේ ප්රධාන අභියෝගය වූයේ ඉන්ධන, විදුලිය සහ ගෑස් ඇතුළු බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමයි. ලෝකයේ බොහෝ රටවල සමාජ නොසන්සුන්තාවන් නිර්මාණය වෙමින් තිබියදී අපි එම අඛණ්ඩ සැපයුම සාර්ථකව තහවුරු කළා. මෙම යුද්ධය කොපමණ කාලයක් දිග්ගැස්සේද යන්න කිසිදු දර්ශකයකින් පුරෝකථනය කළ නොහැකියි.
දැවැන්ත ආර්ථික අර්බුදයකින් සහ ව්යාපාර කඩා වැටීමකින් පසුව නැවත නැඟී සිටින අපේ රටේ ආර්ථිකයට සහ සමාජ ජීවිතයට තවත් දැවැන්ත කම්පනයක් දරාගත නොහැකි නිසා අපි ව්යුහාත්මක සහන පැකේජයක් ලබාදුන්නා. එහි ප්රතිඵලයක් ලෙස පළමු කාර්තුවේදී 5.2%ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමට අපට හැකි වුණා.
පළමු මාස පහ තුළ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් ලබාදීම සඳහා අපි රුපියල් බිලියන 60ක් වැය කළා. තත්ත්වය නැවත උග්ර වීමත් සමඟ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස දක්වා ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් ලබාදීමට නියමිතයි. ඒ සඳහා රුපියල් බිලියන 41ක් වැය වෙනවා.
මෙම සහනාධාරය ලබාදිය යුත්තේ ට්රැක්ටර් භාවිත කරන ගොවීන් හෝ පාන් බෙදාහරින පුද්ගලයන් වැනි ඉලක්කගත කණ්ඩායම්වලටයි. නමුත් සෘජු දත්ත පද්ධතියක පවතින දුර්වලතා හේතුවෙන් අපට සමස්තයක් ලෙස සහනාධාරය ලබාදීමට සිදු වුණා. ඉදිරියේදී දුරකථන සමාගම් සමඟ සාකච්ඡා කර ඉලක්කගත පුද්ගලයන්ට පමණක් සහනාධාරය ලබාදිය හැකි ක්රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නවා.
අපි තරගකාරීත්වයට ආරාධනා කළත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාදෙන මිලට ඉන්ධන සැපයීමට පෞද්ගලික සමාගම් කටයුතු කරන්නේ නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 28ක ලාභයක් ලබමින් එම ලාභයෙන් කොටසක් ජනතාවට සහන ලෙස ලබාදීමට සූදානම් වන විට, පෞද්ගලික සමාගම් ඉන්ධන ගබඩා කර තබාගෙන බෙදාහැරීම සීමා කරනවා. ඩීසල් ලීටරයකට රුපියල් 132ක මිල වෙනසක් ජනතාව මත පැටවීම සාධාරණ නැහැ.
ප්රශ්නය:
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) වැඩසටහනේ අවසන් මාස හයට රජය පැමිණ තිබෙනවා. ණය ප්රතිව්යුහගතකරණයෙන් පසුව මෙම වැඩසටහනට එක්වීම තුළින් බොහෝ ප්රතිලාභ ලැබී තිබෙනවා. නමුත් ඉදිරියේදී නව IMF වැඩසටහනකට එක්වීම සම්බන්ධයෙන් රජයේ අදහස කුමක්ද?
පිළිතුර:
අපි ශ්රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණ තිබුණත්, විදේශ සංචිත තවමත් අපේක්ෂිත මට්ටම දක්වා වර්ධනය කළ යුතුයි. මෙම කරුණු සම්පූර්ණ කරගත හැකි නම් අපට ඉදිරියට යා හැකියි. කෙසේ වෙතත්, ලෝකයේ පවතින අවිනිශ්චිතතාව හමුවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,042ක් වුණා. නමුත් මෙම වසරේ පළමු මාස අට තුළ පමණක් එය ඇමෙරිකානු ඩොලර් මිලියන 4,082 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම ප්රවණතාව අනුව වසර අවසානය වන විට ඉන්ධන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් පමණ වැය වීමට නියමිතයි. එය ආර්ථිකයට දරාගැනීමට සිදුවන දැවැන්ත අභියෝගයක්. ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ක්රියාත්මක කළ සිව් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් (EFF) වැඩසටහනේ ප්රධාන අරමුණ වූයේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමයි. එම ස්ථාවරත්වය දැන් සාර්ථකව අත්කරගෙන තිබෙනවා.
ඊළඟ පියවර වන්නේ එම ස්ථාවරත්වය ආරක්ෂා කරගනිමින් ආර්ථික වර්ධනය කරා ගමන් කිරීමයි. එම වර්ධනය වෙනුවෙන් නව ගිවිසුමකට එළඹිය හැකි නම් අපි ඒ සඳහා සූදානම්. රජයේ ආර්ථික දැක්ම සහ IMF ගිවිසුම් අතර විශාල පරස්පරතාවක් නොතිබූ නිසා, කිසිදු ගැටුමකින් තොරව වැඩසටහනේ වසර හතර සාර්ථකව සම්පූර්ණ කිරීමට අපට හැකි වුණා.
මුදල් අමාත්යාංශයේ විශේෂඥයන් සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු ආර්ථික ක්ෂේත්රයේ විශේෂඥයන් පිරිසක් අනාගත වැඩසටහන කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳව දැනටමත් සාකච්ඡා කරමින් සිටිනවා. බාහිර ආර්ථික කම්පන ද සැලකිල්ලට ගනිමින් ඉතිරි මාස හය තුළ සුදුසු තීරණයකට එළඹීමට නියමිතයි.
ප්රශ්නය:
මෙහි විදේශීය ආයෝජකයන්, දේශීය හා විදේශීය තානාපතිවරුන්, අපගේ ව්යාපාරික ප්රජාව, වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් සහ රාජ්ය නිලධාරීන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට ඔබ ලබාදෙන අවසාන පණිවිඩය කුමක්ද?
පිළිතුර:
රට තුළ අවශ්ය විනිවිදභාවය ගොඩනැගීම අපගේ පළමු පියවරයි. දෙවනුව, ආයෝජන සහ ව්යාපාරවල සුරක්ෂිතතාව වෙනුවෙන් අවශ්ය නීති රීති හඳුන්වාදීමේ කටයුතු මේ වන විට සැලකිය යුතු අවසන් අදියරකට පැමිණ තිබෙනවා. ආයෝජන සඳහා අවශ්ය යටිතල පහසුකම් ද අපි සංවර්ධනය කරමින් සිටිනවා. රජයට පැවරී ඇති කාර්යයන් වන්නේ විනිවිදභාවය ඇති කිරීම, නීති රීති හඳුන්වාදීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. ඒ නිසා අපි අපේ කොටස ඉටු කරනවා. ඔබ ඔබේ කොටස ඉටු කරන්න.
සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්රමය (S-VAT) ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් සැකයක් සහ ප්රශ්න කිරීම් පැවතුණා. කෙසේ වෙතත්, S-VAT ක්රමය හරහා මාසයකට රුපියල් බිලියන 10ක ආදායම් කාන්දුවක් සිදුවෙමින් තිබූ අතර, එය සාර්ථකව පාලනය කිරීමට හැකි වී තිබෙනවා.
අපගේ අරමුණ වන්නේ ශක්තිමත් දේශීය ව්යාපාරික ප්රජාවක් සහ ශ්රී ලංකාවේ විදේශීය ආයෝජන මෙන්ම විශාල ජාත්යන්තර සමාගම් සමඟ සාර්ථකව සම්බන්ධ විය හැකි ව්යවසායකයන් පිරිසක් බිහි කිරීමයි. අපගේ අයවැයෙන් ද ඒ සඳහා අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් ග්රාමීය ප්රදේශවලට යනවා නම්, ඉඩම් සහ ඇතැම් සේවා සඳහා සහනදායී ක්රමවේදයක් ලබාදීමට අපි සූදානම්.
ඒ වගේම වරාය, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය, වරාය නගරය සහ සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්ර රැසක යටිතල පහසුකම් සංවර්ධනය වීමත් සමඟ නව ආර්ථික අවස්ථා නිර්මාණය වෙමින් තිබෙනවා. කිසිදු බියකින් තොරව ආයෝජනය කරන්න. ඒ සඳහා අවශ්ය ආරක්ෂාව සහ විශ්වාසය අපි ලබාදෙනවා. ඔබගෙන් මා කරන අවසාන ඉල්ලීම එයයි.
ජනාධිපතිවරයාගේ මෙම ප්රකාශ හරහා ඩිජිටල්කරණය, කෘත්රිම බුද්ධිය, වරාය සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි නවීන ගෝලීය ප්රවණතා සමඟ රටේ ආර්ථිකය සම්බන්ධ කිරීමට රජය දක්වන සූදානම පිළිබඳව ආයෝජකයන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් ලැබිණි. කෙසේ වෙතත්, සමාජයක් ලෙස වර්තමාන ආර්ථික ගමන් මඟ පිළිබඳව වඩාත් ගැඹුරු විවේචනාත්මක විමසා බැලීමක නිරත වීම අත්යවශ්ය වේ.
විශේෂයෙන් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් කර ආර්ථික වර්ධනය කරා ගමන් කිරීමට රජය බලාපොරොත්තු වුවද, IMF වැඩසටහන සමඟ තවදුරටත් ඉදිරියට යා යුතුද යන්න විවේචනාත්මකව සලකා බැලිය යුතු සංවේදී අවස්ථාවක් මෙයයි. ඊට හේතුව වන්නේ එම වැඩසටහනේ දැඩි කොන්දේසි යටතේ දැවැන්ත බදු බරකින් සහ ජීවන වියදම ඉහළ යාමෙන් සමස්ත ජනතාව දැනටමත් දැඩි පීඩාවකට පත්ව සිටීමයි.
එබැවින් ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සංඛ්යාලේඛනවලට පමණක් සීමා නොවී, අපගේ සාම්ප්රදායික පරිභෝජන රටා සහ යැපුම් ආර්ථික සම්ප්රදායන් වඩාත් යහපත් අතට පරිවර්තනය කරමින් රටට සැබවින්ම ගැළපෙන දේශීය ආර්ථික ක්රමයක් ස්ථාපිත කිරීම රජය හමුවේ පවතින දැවැන්ත අභියෝගයයි. විශාල ජනවරමකින් බලයට පත් වත්මන් රජය, සාම්ප්රදායික ගෝලීය මූල්ය න්යාය පත්රවලට පමණක් සීමා නොවී, පීඩාවට පත්ව සිටින ජනතාවගේ බදු බර සැහැල්ලු කරන සහ රටේ සැබෑ හැකියාවන්ට ගැළපෙන නව ආර්ථික මාවතක් නිර්මාණය කිරීම සඳහා අවශ්ය නිර්භීත පියවර දැන් ගත යුතුය.




