
මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුන්වන ‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව, සැකකරුවන්ට සම්බන්ධ බැංකු ගිණුම්, සුඛෝපභෝගී වාහන සහ දේපළ රැසක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (30) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ නඩුවේ පළමු සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් ද තහනම් කිරීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්රකාශ කළේය.
අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද මෝසමක් සලකා බැලීම සඳහා නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, නඩුවේ දෙවන සැකකරු වන හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් මේ වන විටත් තහනම් කර ඇති බවයි.
මීට අමතරව, සිද්ධියේ තුන්වන සැකකරු වන වරුණ හන්දිගේ අරුණ චතුරංග නමැත්තාගේ බිරිඳට සහ පියාට අයත් බව කියන වාහන දෙකක් සම්බන්ධ ගනුදෙනු අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බව කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් තහනම් කිරීමේ ක්රියාමාර්ග ගෙන ඇත්තේ 2025 අංක 5 දරන අපරාධවලින් උපයාගත් වත්කම් පිළිබඳ පනත යටතේ බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ වත්කම් තහනම් කිරීමට සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් පැය 72ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන බව ද කොමිසමේ නිලධාරීහු ප්රකාශ කළහ.
එමෙන්ම සිද්ධියට අදාළ විමර්ශනවල ප්රගතිය අධිකරණයට වාර්තා කිරීම සඳහා සුදුසු දිනයක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා, මෙම නඩුව යළි දෙසැම්බර් 08 වැනිදා කැඳවීමට නියෝග කළේය.




