
2026/27 මුදල් වර්ෂයේ පළමු මාස තුන තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 35.6ක පාඩුවක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ මධ්‍ය වාර්ෂික මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, ගුවන් සමාගමේ ආදායම ඉහළ ගොස් තිබුණද මෙහෙයුම් වියදම් සහ මූල්‍ය පීඩනයන් හේතුවෙන් මෙම පාඩුව වාර්තා වී තිබේ.
පසුගිය වසරේ අනුරූප කාලසීමාවේදී රුපියල් බිලියන 62.6ක් ලෙස පැවති ගුවන් සමාගමේ ආදායම, මෙවර රුපියල් බිලියන 82.8ක් දක්වා වර්ධනය වී ඇත.
එහෙත් එම කාලය තුළ සමාගමේ සමස්ත වියදම සියයට 40.4කින් ඉහළ ගොස් ඇති අතර, පෙර වසරේ රුපියල් බිලියන 67.8ක් වූ වියදම රුපියල් බිලියන 95.2ක් දක්වා වැඩි වී තිබේ.
විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ ගුවන් යානා ඉන්ධන පිරිවැය සියයට 93කින් ඉහළ යෑම මෙම වියදම් වැඩිවීමට බලපා ඇති ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව, අදාළ මාස තුන තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 12.5ක මෙහෙයුම් පාඩුවක් වාර්තා කර තිබේ. විදේශ විනිමය ආශ්රිත පීඩනයන් ද සමාගමේ සමස්ත මූල්‍ය කාර්යසාධනයට අහිතකර ලෙස බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, ගුවන් සමාගම දිගුකාලීනව මුහුණ දෙන ව්‍යුහාත්මක දුර්වලතා, ඉහළ නඩත්තු වියදම් සහ විශාල ණය වගකීම් එහි මූල්‍ය ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන අභියෝග ලෙස හඳුනාගෙන තිබේ.
පවතින මූල්‍ය අර්බුදය හමුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගමට රජය අඛණ්ඩව මූල්‍ය සහාය ලබා දෙමින් සිටින බව ද සඳහන් වේ.
ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 175ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව, ඩොලර් මිලියන 126.5ක බැංකු වගකීමක් පසුගිය මාර්තු 20 වැනිදා රජයේ ණය තොගයට පවරා තිබේ.
මීට අමතරව, ගුවන් සමාගමේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 30ක මුදලක් ලබා දී ඇති බව ද වාර්තා වේ.
ආදායම් වර්ධනයක් පෙන්නුම් කළද, ඉන්ධන සහ මෙහෙයුම් වියදම් ඉහළ යෑම මෙන්ම පවතින ණය බර හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම තවදුරටත් බරපතළ මූල්‍ය අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව මෙම දත්ත මගින් පැහැදිලි වේ.




