
ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඔහුගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා දැනුම් දී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාත්, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ.
අදාළ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට එල්ල වන චෝදනා මත අල්ලස් කොමිසම විසින් නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 4 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති වෙනම නඩුවකටද නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ. එම නඩුවට අදාළව ඔහු සැප්තැම්බර් 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.




