
ජලභීතිකාව වැළඳී ඇතැයි යන සැකය පමණක් මත සතුන් අත්තනෝමතික ලෙස මරා දැමීමට හෝ වෙඩි තැබීමට පොලිසියට තවදුරටත් බලයක් නොමැති බව පශු වෛද්‍ය සහ සත්ව සුභසාධන සන්ධානයේ (AWC) විධායක සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ සැප්තැම්බර් 7 වැනිදා ගැසට් කර ඇති ‘ජලභීතිකාව තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත’** මගින් දැනට පවතින ජලභීතිකා ආඥාපනත ඇතුළු නීති ප්‍රතිස්ථාපනය කර, පශු වෛද්‍ය පරීක්ෂණ, නිරීක්ෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද මත පදනම් වූ නව ක්‍රමයක් යෝජනා කර ඇති බවයි.
සැක සහිත සුනඛයන්ට සිදුවන්නේ කුමක්ද?
වෛද්‍ය නානායක්කාර මහතා පවසන්නේ ජලභීතිකාව වැළඳී ඇතැයි සැක කෙරෙන සුනඛයන් පොදු ස්ථානවල සිටියහොත් වහාම ඝාතනය කිරීම වෙනුවට අල්ලාගෙන නියමිත රඳවා තැබීමේ හා නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නව ක්‍රමවේදය යටතේ ප්‍රතිපාදන ඇති බවයි.
එහිදී රජයේ පශු වෛද්‍යවරයෙකු විසින් නියමිත කාලසීමාවන් තුළ පරීක්ෂණ සිදුකර සතාට ජලභීතිකාව වැළඳී ඇත්දැයි තීරණය කළ යුතු බව ඔහු සඳහන් කරයි.
ජලභීතිකාව වැළඳී ඇති බව රජයේ පශු වෛද්‍යවරයෙකු විසින් තහවුරු කර, මහජනතාවට ඇති අවදානම වැළැක්වීම සඳහා සතා ඝාතනය කිරීම අවශ්‍ය බව තීරණය කළ අවස්ථාවක පමණක් euthanasia සඳහා අවසර ලැබෙන බවද ඔහු පවසයි.
එම ක්‍රියාවලිය රජයේ පශු වෛද්‍යවරයා හෝ ඔහු විසින් බලය පවරන ලද පුද්ගලයෙකු මගින් සිදුකළ යුතු බවද සඳහන් කර තිබේ.
ජලභීතිකාව නොමැති සුනඛයන්ට එන්නත් සහ වන්ධ්‍යාකරණය
ජලභීතිකාව නොමැති බව තහවුරු වන සුනඛයන්ට එන්නත් ලබාදීම, වන්ධ්‍යාකරණය කිරීම සහ ඔවුන් අල්ලාගත් ස්ථානයටම නැවත මුදාහැරීම නව ක්‍රමවේදය යටතේ සිදුකළ යුතු බව වෛද්‍ය නානායක්කාර මහතා පවසයි.
එමෙන්ම යෝජිත නීතිය යටතේ සති හයකට වැඩි වයසැති සුනඛයන් වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබාගෙන අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීමද අනිවාර්ය කිරීමට යෝජනා කර ඇත.
ලියාපදිංචිය සිදු නොකරන සුනඛයෙකු සම්බන්ධයෙන් ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩයක් පැනවීමටද පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන ඇතුළත් බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙය මේ වන විට පනත් කෙටුම්පතක් වන අතර, එය පාර්ලිමේන්තුව මගින් සම්මත වී නීතියක් බවට පත්වීමට තවදුරටත් නීතිමය ක්‍රියාවලියක් අවශ්‍ය වේ. කැබිනට් මණ්ඩලය එය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබාදී තිබුණි.
වෛද්‍ය නානායක්කාර මහතා අවධාරණය කරන්නේ ජලභීතිකාව පිළිබඳ සැකය පමණක් පදනම් කරගෙන සතෙකු අත්තනෝමතික ලෙස ඝාතනය කිරීම හෝ පොලිසිය මගින් වෙඩි තැබීම සම්බන්ධයෙන් නව නීතිමය රාමුව තුළ වෙනසක් ඇති වන බවයි.




