
වසා දැමීමේ අවදානමකට මුහුණ දී තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව, වසරේ මුල් මාස නවය තුළ මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික විදේශ විනිමයක් ඉතිරි කර දී ඇති බව වාර්තා වේ.
මේ අතර, හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක චීන සිනොපෙක් (Sinopec) තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්හිටුවීමට කැබිනට් සාකච්ඡා කමිටුව නිර්දේශ කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවසන් තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සපුගස්කන්දෙන් ඩොලර් මිලියන 417ක ලාභයක්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සමඟ පැවති සාකච්ඡාවකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කර ඇත්තේ, මීට පෙර කැබිනට් තීරණයක් මඟින් සංස්ථාවෙන් වෙන්කර අක්‍රිය කිරීමට සැලසුම් කර තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව, වසරේ මුල් මාස නවය තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 417ක ලාභයක් වාර්තා කර ඇති බවයි.
විවිධ අභියෝග මධ්‍යයේ වුවද සැලසුම් සහගතව කටයුතු කිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද එම කාලය තුළ රුපියල් බිලියන 28ක ලාභයක් උපයා තිබේ.
වසර අවසන් වනවිට එම ලාභය රුපියල් බිලියන 30 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සියයට 85කින් ඉහළ ගියද, මෙරට ඉන්ධන මිල ඉහළ නැංවූයේ සියයට 45කින් පමණක් බව ද සභාපතිවරයා පෙන්වා දී ඇත.
ඒ අනුව ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ත් 100ත් අතර සහනාධාරයක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය ද කඩිනමින් ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බව සඳහන් වේ.
සිනොපෙක් සමාගමෙන් දේශීය ඉන්ධන වෙළෙඳපොළෙන් 40%ක් ඉල්ලයි
හම්බන්තොට ඉදිකිරීමට යෝජිත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා 2023 නොවැම්බර් මාසයේදී මූලික අනුමැතිය හිමිවිය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් ලෙස සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ දිනකට බොරතෙල් බැරල් 200,000ක් පිරිපහදු කර ඉන් වැඩි ප්‍රමාණයක් විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය ඉන්ධන වෙළෙඳපොළෙන් සියයට 40ක කොටසක් සෘජුව අලෙවි කිරීමට අවසර ලබාදෙන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා සිටීමත් සමඟ සාකච්ඡා අර්බුදයකට ලක්ව තිබේ.
පිරිපහදු කරන ඉන්ධන මෙරට බෙදාහරින්නන්ට සහ පාරිභෝගිකයන්ට සෘජුව අලෙවි කිරීමට අවසර ලබාදීම මෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවට හිමි වෙළෙඳපොළ වරප්‍රසාද තම සමාගමට ද ලබාදෙන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා තිබේ.
එහෙත් එම ඉල්ලීම් පිළිගැනීමට කැබිනට් සාකච්ඡා කමිටුව එකඟ වී නොමැත.
මෑතකදී ඇතැම් පෞද්ගලික ඉන්ධන සමාගම් සිය බෙදාහැරීම් සීමා කළ පසුබිමක, මෙරට ඉන්ධන සැපයුම් ජාලය සම්බන්ධයෙන් රජයේ පාලනය පවත්වාගෙන යාමේ වැදගත්කම බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
වසර 25ක බදු සහන සහ අක්කර 700ක් සඳහා වසර 99ක බද්දක්
සිනොපෙක් සමාගම විසින් ඉදිරිපත් කර ඇති තවත් ඉල්ලීම් කිහිපයක් ද ගිවිසුම සම්බන්ධයෙන් මතභේද ඇතිවීමට හේතු වී තිබේ.
ඒ අතර වසර 15 සිට 25 දක්වා ආයතනික ආදායම් බදු නිදහස් කිරීම්, ලාභාංශ බදු සහන, හම්බන්තොට අක්කර 700ක භූමියක් වසර 99ක බදු පදනම මත ලබාදීම සහ රජයට හිමි සියයට එකක කර්තෘභාගය අත්හැරීම ඇතුළත් වේ.
මෙවැනි සහන ලබාදීමෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට දැඩි මූල්‍ය බලපෑමක් ඇතිවිය හැකි බව කමිටුව හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත්, ආයෝජකයා ඉදිරිපත් කළ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට රජය කටයුතු කර නොමැත.
අමතර ඉඩම් වෙන්කිරීම් සහ යන්ත්‍රෝපකරණ ආනයනයට අදාළ බදු සහන කිහිපයක් ලබාදීමට එකඟ වෙමින් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට උත්සාහ කර තිබේ.
එහෙත් දකුණු මුහුදු තීරයේ සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා නීතිමය වශයෙන් අවශ්‍ය පාරිසරික බලපෑම් ඇගයීමේ (EIA) පිරිවැය දැරීමට සමාගම මැළිකමක් දැක්වීම ද ගිවිසුම සම්බන්ධයෙන් තවත් ගැටලුවක් වී ඇත.
ඒ අනුව පවතින ගිවිසුම අවලංගු කර ව්‍යාපෘතිය සඳහා නව ජාත්‍යන්තර ලංසු කැඳවීමට කැබිනට් සාකච්ඡා කමිටුව නිර්දේශ කර තිබේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මඟින් රටට සැලකිය යුතු ආර්ථික ප්රතිලාභ ලබාගත හැකි බව පෙන්වා දී ඇති පසුබිමක, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ජාතික ආදායම, දේශීය ඉන්ධන සැපයුම සහ බලශක්ති ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම ද මෙම සිදුවීමෙන් ඉස්මතු වී තිබේ.




