
බලය ලබාගැනීමට පෙර දේශපාලනඥයන් ජනතාවට ලබාදෙන පොරොන්දු සහ බලයට පත්වීමෙන් පසු ඔවුන් ක්‍රියාකරන ආකාරය අතර විශාල පරස්පරතාවක් පවතින බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

දිවයින පුරා රාජ්‍ය ආයතනවල සේවය කරන උපාධිධාරී සංවර්ධන නිලධාරීන් මුහුණ දී සිටින වෘත්තීය ගැටලු සහ උසස්වීම් අහිමිවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් මහනුවර මල්වතු මහා විහාරයේදී අනුනාහිමියන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
බලයට එන්න පෙර පොරොන්දු දුන්නත් ඉටුකරන්නේ නැහැ
මෙහිදී අදහස් දැක්වූ අනුනාහිමියන් පෙන්වා දුන්නේ, මැතිවරණවලදී ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා විවිධ පොරොන්දු ලබාදෙන දේශපාලනඥයන් බලයට පත්වීමෙන් පසු එම පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වන බවයි.
“මේ දක්වා බලයට පත්වූ සෑම ආණ්ඩුවක් වගේම බලය ලබා ගැනීමට පෙර විවිධ පොරොන්දු ලබා දුන්නත් ඒවා ඉටුකරන්න යනකොට තමයි තේරෙන්නේ ලබා දුන් පොරොන්දු ඉටු කරන්න බෑ කියලා. සමහර දේශපාලඥයෝ පොරොන්දු වුණා හඳෙන් හරි ඇට අටක් ගෙනල්ල දෙනව කියල. මේ අය කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි.”
උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස සිදුකළ උද්ඝෝෂණවලට ප්‍රතිචාරයක් ලෙස සංවර්ධන නිලධාරී තනතුර නිර්මාණය කර රැකියා ලබාදී ඇති නමුත්, එය විධිමත් සැලැස්මක් යටතේ සිදුකර නොමැති බව ද උන්වහන්සේ සඳහන් කළහ.
එම තත්ත්වය හේතුවෙන් සංවර්ධන නිලධාරීන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වා දුන් අනුනාහිමියෝ, වසර ගණනාවක් සේවය කළද ඔවුන්ට බඳවාගත් තනතුරේම සිට විශ්‍රාම යාමට සිදුව ඇති බව පැවසූහ.
අනෙකුත් රාජ්‍ය සේවකයන්ට සේවා කාලය අනුව උසස්වීම් සහ වැටුප් වැඩිවීම් හිමිවන බැවින් සංවර්ධන නිලධාරීන්ට ද එවැනි සාධාරණ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.
උපාධිධාරීන්ගේ දැනුමෙන් රටට නිසි ප්‍රයෝජනයක් නොගැනීම ජාතික අපරාධයක්
රජය විශ්වවිද්‍යාල හරහා උපාධිධාරීන් බිහිකළද, ඔවුන්ගේ දැනුම සහ ශ්‍රමය රටේ සංවර්ධනය සඳහා ඵලදායී ලෙස යොදාගැනීමට හෝ පැහැදිලි වෘත්තීය අනාගතයක් නිර්මාණය කිරීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම ජාතික අපරාධයක් බව අනුනාහිමියෝ පෙන්වා දුන්හ.
සෞඛ්‍ය ක්ෂේත්රය ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවා ක්ෂේත්රවල නිලධාරීන්ට මෙන් සංවර්ධන නිලධාරීන්ට ද විධිමත් උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව උන්වහන්සේ පැවසූහ.
අවශ්‍ය නම් තරග විභාගයක් පවත්වා සුදුසුකම් ඇති නිලධාරීන් ඉහළ තනතුරු සඳහා උසස් කිරීමට පියවර ගත යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම ගැටලු මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවධානයට යොමුකර රජයට ඉදිරිපත් කිරීම සඳහා මැදිහත් වන බවට ද අනුනාහිමියෝ සහතික වූහ.
සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ උපාධිධාරීන්ට රැකියා ලබාදුන් ආකාරය සිහිපත් කරයි
මෙහිදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ ක්‍රියාත්මක කළ උපාධිධාරී රැකියා වැඩපිළිවෙළක් පිළිබඳව ද අනුනාහිමියෝ සිහිපත් කළහ.
එම සමයේ උපාධිධාරීන් 7,500 දෙනෙකු රුපියල් 250ක මාසික වැටුපකට ගුරු සේවයට බඳවාගෙන, වසර පහක දුෂ්කර සේවයක් ලබාගනිමින් ඔවුන්ගේ බැංකු ණය ගෙවා දැමීමට ද පහසුකම් සලසා තිබූ බව උන්වහන්සේ සඳහන් කළහ.
සංවර්ධන නිලධාරීන් 150,000කට ආසන්න පිරිසක් උසස්වීම් ගැටලුවක
අනුනාහිමියන් හමුවේ කරුණු දැක්වූ සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ, මධ්‍යම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් සභා ඇතුළු සමස්ත රාජ්‍ය සේවය තුළ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 150,000කට ආසන්න පිරිසක් සේවය කරන බවයි.
2012 වසරේදී සේවා ව්‍යවස්ථාවක් සකස් කර තමන් රාජ්‍ය සේවයට බඳවාගත්තද, එම ව්‍යවස්ථාවට කිසිදු උසස්වීම් පටිපාටියක් ඇතුළත් කර නොමැති බව ඔවුහු පෙන්වා දුන්හ.
මේ හේතුවෙන් සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවයට එක්වන උපාධිධාරියෙකුට වසර 35ත් 40ත් අතර කාලයක් සේවය කළද, බඳවාගත් තනතුරේම සිට විශ්‍රාම යාමට සිදුවන බව නියෝජිතයෝ සඳහන් කළහ.
එසේම, රාජ්‍ය සේවය තුළ තීරණ ගැනීමේ සහ පරිපාලන බලතල නොමැතිවීම හේතුවෙන් තම දැනුම හා හැකියාවන් යොදාගෙන රටට ඵලදායී සේවයක් සැපයීමේ අවස්ථා සීමා වී ඇති බව ද ඔවුහු පැවසූහ.
නව සේවා ව්‍යවස්ථා කෙටුම්පත් දෙකක් අනුනාහිමියන්ට භාරදෙයි
මෙම ගැටලුවට විසඳුමක් ලෙස වෘත්තීය සමිති 12ක එකමුතුවක් විසින් නව සේවා ව්‍යවස්ථා කෙටුම්පත් දෙකක් සකස් කර ඇති බව නියෝජිතයෝ සඳහන් කළහ.
ගම් මට්ටමින් සංවර්ධන රාජකාරිවල නිරත ක්ෂේත්‍ර නිලධාරීන් සහ කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් මෙම කෙටුම්පත් දෙක සකස් කර තිබේ.
අදාළ සේවා ව්‍යවස්ථා කෙටුම්පත් දෙක වෘත්තීය සමිති නියෝජිතයන් විසින් මල්වතු අනුනාහිමියන් වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.
සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය අනාගතය සහ උසස්වීම් ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකරවීමට මැදිහත් වන බවට අනුනාහිමියන් මෙම හමුවේදී සහතික වී තිබේ.




