
අධිකරණ නියෝගවලට තමන් හිස නොනමන බවත්, ඒ හේතුවෙන් සිරගත කිරීමට සිදුවුවද එයට මුහුණ දීමට සූදානම් බවත් බලන්ගොඩ කස්සප හිමියෝ ප්‍රකාශ කළහ. තමන් අපවත් වුවද යක්ෂයෙකු ලෙස හෝ පැමිණ අදාළ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන බවද උන්වහන්සේ අවධාරණය කළහ.
අද පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යය ආසන්නයේදී උපවාසයක් ප්‍රකාශයට පත්කරමින් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

අධිකරණ නියෝග පිළිපැදීම සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කළ කස්සප හිමියන් කියා සිටියේ, එම ස්ථාවරය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකුවද සිරගත වීමට තමන් බිය නොවන බවයි.
“අධිකරණ නියෝගවලට අපි හිස නමන්නේ නෑ. ඒක අධිකරණයට අපහාසයක් නම්, කමක් නැහැ හිරේ දාන්න. අපිට හිරගෙවල් නුහුරු නුපුරුදු නැහැ.” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මේ අතර, මහානායක හිමිවරුන් විසින් තමන්ට නිදහස ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබාදුන් නිසා මීට පෙර අදාළ ස්ථානයෙන් ඉවත්වූ බවද කස්සප හිමියෝ සඳහන් කළහ.
එහෙත් එම පොරොන්දුව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවට උන්වහන්සේ චෝදනා කළහ.
“මහානායක හාමුදුරුවෝ අපිට කිව්වා නිදහස අරගෙන දෙන්නම් කියලා. ඒ හින්දයි අපි ඉවත්වුණේ. හැබැයි අද වෙනකල් මහානායක හාමුදුරුවන්ගෙන් අපිට වචනයක්වත් ලැබුණේ නැහැ.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
තමන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තිදෙනා අදාළ පුණ්‍ය භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවද කස්සප හිමියෝ අවධාරණය කළහ.
“අපි තුන්දෙනාගෙන් කවුරු ඉස්සෙල්ලා අපවත් වෙයිද කියල දන්නේ නෑ. ඒ අපවත් වුණත් තුන්දෙනා යක්ෂයෙක් වෙලා හරි අපි මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරනවා.” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ඒ අනුව අධිකරණ නියෝග සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරය වෙනස් නොකරන බවත්, අදාළ පුණ්‍ය භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිගටම කටයුතු කරන බවත් බලන්ගොඩ කස්සප හිමියන්ගේ ප්‍රකාශයෙන් අවධාරණය කෙරිණි.




