
හුදෙකලා නිවාසවල තනිව වෙසෙන වැඩිහිටියන් ඉලක්ක කර මුදල් සහ රන් ආභරණ සොරකම් කිරීමේ අපරාධ ඉහළ යමින් පවතින බව පෙන්වා දෙන පොලිසිය, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දරුවන් රැකියා සඳහා නිවෙස්වලින් බැහැරව සිටීම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචියට යාම හේතුවෙන් තනිව ජීවත් වන වැඩිහිටියන් මෙවැනි අපරාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමකට මුහුණ දී සිටින බව පොලිසිය සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවලදී මුදල් හා වටිනා භාණ්ඩ කොල්ලකෑමට පැමිණෙන අපරාධකරුවන්ගේ ක්‍රියා මිනීමැරුම් දක්වා වර්ධනය වී ඇති බවද වාර්තා වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වැඩිහිටියන්ගේ රැකවරණය සඳහා සාත්තු සේවකයන්, ගෘහ සේවකයන් හෝ රැකවරණ මධ්‍යස්ථානවල සේවකයන් බඳවා ගැනීමට පෙර ඔවුන්ගේ පසුබිම පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු කරන ලෙස පොලිසිය උපදෙස් දී තිබේ.
එවැනි සේවකයන්ගේ විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමද වැදගත් බව එම උපදෙස්වල සඳහන් වේ.
හදිසි අවස්ථාවකදී ඉක්මනින් සහාය ලබා ගැනීමට හැකි වන පරිදි ළඟම ඇති පොලිස් ස්ථානයේ දුරකථන අංකය, 119 පොලිස් හදිසි ඇමතුම් අංකය සහ 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ අංකය නිවස තුළ පැහැදිලිව පෙනෙන ස්ථානයක සටහන් කර තබන ලෙසද දැනුම් දී ඇත.
ඊට අමතරව, සමීප අසල්වැසියකුගේ සහ පවුලේ වෛද්‍යවරයාගේ දුරකථන අංකද පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක තබා ගැනීම නිර්දේශ කර තිබේ.
තම ප්‍රදේශයේ තනිව වෙසෙන වැඩිහිටියන් පිළිබඳ අදාළ ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කිරීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සමීප අවධානයක් යොමු කිරීමට අවස්ථාව සැලසෙන බව පොලිසිය පෙන්වා දෙයි.
වැඩිහිටියන්ට පහසුවෙන් භාවිත කළ හැකි ජංගම දුරකථනයක් ලබා දී, පවුලේ සාමාජිකයන්ගේ සහ පොලිසියේ දුරකථන අංක එහි කල්තියා ඇතුළත් කර තැබීමද වැදගත් ආරක්ෂක පියවරක් ලෙස හඳුන්වා දී තිබේ.
අසල්වැසියන් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම, විවිධ සේවා සැපයීමට හෝ සුළු රැකියා සඳහා පැමිණෙන නාඳුනන පුද්ගලයන් නිවස තුළට ඇතුළු කර නොගැනීම සහ රාත්‍රී කාලයේ නිවස අවට ප්‍රමාණවත් ආලෝකයක් පවත්වා ගැනීම කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව පොලිසිය අවධාරණය කරයි.
විශේෂයෙන්ම තනිව ජීවත් වන වැඩිහිටි දෙමාපියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවද පොලිසිය පවසයි.
ඔවුන්ගේ සුවදුක් නිරන්තරයෙන් විමසා බැලීම, අවශ්‍ය අවස්ථාවලදී සහාය ලබා දීම සහ ඇතිවිය හැකි අපරාධ තර්ජන කල්තියා හඳුනාගෙන වැළැක්වීමේ පියවර ගැනීම සඳහා පවුලේ සාමාජිකයන් මෙන්ම අසල්වැසියන්ද අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.




