
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගිය රැඳවියෙකුගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව නම් කර ඇතත් එම මරණය පහරදීමක් හේතුවෙන් සිදු වූ ඝාතනයක් බවත්, එය වසන් කිරීමට බලධාරීන් උත්සාහ කරන බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) චෝදනා කර සිටියි.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ තමන් වෙත ලැබී ඇති විශ්වාසදායක තොරතුරුවලට අනුව, පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රියේ අදාළ රැඳවියා දරුණු ලෙස පහරදීමකට ලක්ව ඇති බවයි.

මෙම ඉලක්කගත ඝාතනය ගෙල වැලලාගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් ලෙස හුවා දක්වමින් සත්‍යය යටපත් කිරීමට බන්ධනාගාර බලධාරීන් සූදානම් වන බවට එම කමිටුව මීට පෙර ද අනතුරු ඇඟවීම් සිදු කර තිබුණි.
මේ අතර, මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) නිලධාරීන් පිරිසක් ජූලි 7 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කර ඇතත් බන්ධනාගාර පරිපාලනය විසින් ඔවුන්ට ඇතුළු වීමට අවසර ලබා නොදී බාධා පමුණුවා ඇති බව ද නිවේදනයේ සදහන්ය.




