
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින්, එහි ඇති ටැංකි 61න් 29ක් සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ලංසු කැඳවීමට ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම (TPTL) තීරණය කර තිබේ.

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (51%) සහ ඉන්දීය ඔයිල් සමාගමට අනුබද්ධ ලංකා IOC සමාගම (49%) එක්ව 2021 වසරේදී පිහිටුවන ලද හවුල් ව්‍යාපාරයකි. ටැංකි 99කින් සමන්විත මෙම සංකීර්ණයේ ටැංකි 61ක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට දෙරට අතර එකඟතාවක් පවතින අතර, ඉන් 29ක් මුල් අදියරේදී සංවර්ධනය කිරීමට නියමිතය.
පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර, දෙරට අතර ද්විපාර්ශ්වික බලශක්ති සැපයුම ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර බහුවිධ තෙල් නල පද්ධතියක් ඉදිකිරීමට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් ද අත්සන් කෙරිණි.
මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් අර්බුදකාරී වාතාවරණය හමුවේ කලාපීය බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හඳුනාගෙන තිබේ. මේ සඳහා වන යෝජනා කැඳවීම ඉදිරි මාසය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන්ගෙන් ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව දැනටමත් අනුමැතිය ලබා දී ඇත. සමාගම විසින් ලංසු ඇගයීම සිදු කිරීමෙන් අනතුරුව අවසන් තීරණය ගැනීම සඳහා එය නැවතත් අදාළ කමිටුව වෙත යොමු කිරීමට නියමිතය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේදී ඉන්දියාවේ දායකත්වය පිළිබඳ ප්‍රථම වරට සඳහන් වූයේ 1987 ඉන්දු-ලංකා ගිවිසුම හරහාය. පසුව 2002-2004 කාලසීමාවේදී අත්සන් කළ ගිවිසුම් මගින් මෙරට ඉන්ධන අලෙවි සහ බෙදාහැරීමේ කටයුතු සඳහා IOC සමාගමට අවස්ථාව හිමි විය. මෙම ටැංකි පද්ධතියේ උපරිම ඵලදායිතාව ලබා ගැනීම සඳහා ඒවා කඩිනමින් සංවර්ධනය කළ යුතු බව ශ්‍රී ලංකා රජය ද අවධාරණය කර ඇත.




