
අවදානමට ලක්විය හැකි සමාගම් සහ සේවකයින්ට විශ්වාසදායක ගැලපුම් සහායක් (adjustment support) නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ තීරුබදු ප්‍රතිසංස්කරණ මගින් අතීතයේ සිදුවූ අසාර්ථකවීම් නැවත සිදුවිය හැකි බවට ස්මාර්ට් ෆියුචර් කේන්ද්‍රය (CSF) අනතුරු අඟවයි.
ලිබරල්කරණයෙන් (liberalisation) අවදානමට ලක්විය හැකි සමාගම් සහ සේවකයින් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විශ්වාසදායක යාන්ත්‍රණයක් නිර්මාණය නොකළහොත්, ශ්‍රී ලංකාවේ තීරුබදු ප්‍රතිසංස්කරණ හරහා දශකයකට පෙර සිදුවූ ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය නැවත වරක් සිදුවීමේ අවදානමක් පවතී.
බලපෑම් කිරීම්, නිදහස් කිරීම් සහ දේශපාලන මැදිහත්වීම් හරහා කර්මාන්ත ක්ෂේත්රයේ බලපෑම් මගින් ප්‍රතිපත්ති හැඩගැස්වීම ආරම්භ වීමට පෙර, රජය විසින් වෙළඳ ගැලපුම් (trade adjustment) සඳහා ආයතනික පදනමක් ස්ථාපිත කළ යුතු බවට ස්මාර්ට් ෆියුචර් කේන්ද්‍රය (CSF) අනතුරු අඟවා ඇත.
ශ්‍රී ලංකාවේ නව තීරුබදු තාර්කිකකරණ සැලසුම් සඳහා විශ්වාසදායක වෙළඳ ගැලපුම් වැඩසටහනක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් වන සිය ප්‍රතිපත්ති සටහන මගින්, තීරුබදු ප්‍රතිසංස්කරණ සමඟ වෙළඳ ගැලපුම් යාන්ත්‍රණයක් පිළිබඳව ද සලකා බලන බවට වන සලකුණු මෙම ස්වාධීන චින්තන පර්ෂදය විසින් සාදරයෙන් පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාව නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කරන්නේ නම් මෙම යාන්ත්‍රණය වඩාත් වැදගත් වනු ඇත.
කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් සාකච්ඡා සහ අමාත්‍ය මණ්ඩල යොමු කිරීම් මත පදනම් වූ ක්‍රමයක් ප්‍රමාණවත් නොවන බව CSF ආයතනය අවධාරණය කළේය.
අවදානමට ලක්විය හැකි අංශ හඳුනා ගැනීමට, ඔවුන්ට අවශ්‍ය ගැලපීම් තක්සේරු කිරීමට සහ සාක්ෂි මත පදනම් වූ නිර්දේශ ලබා දීමට අදාළ ආයතනයට විශ්ලේෂණාත්මක හැකියාව සහ ස්වාධීනත්වය තිබිය යුතු බව එම ආයතනය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ තීරුබදු ප්‍රතිසංස්කරණ නව අවදානම් මතු කරයි
මෙම අනතුරු ඇඟවීම නිකුත් වන්නේ, 2026 පෙබරවාරි මාසයේදී වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරමින් පවතින පසුබිමකය.
මෙම ප්‍රතිපත්තිය මගින් ශ්‍රී ලංකාව සරල කරන ලද තීරු 4 කින් යුත් රේගු ආනයන බදු ව්‍යුහයකට බැඳී සිටී.
එසේම, 2029 වසර දක්වා අදියර වශයෙන් සෙස් (CESS) බද්ද අඩු කිරීමට ද මෙයින් විධිවිධාන සලසා ඇති අතර, කර්මාන්තවලට සහාය දීමේ ක්‍රමයක් ලෙස කාල සීමාවක් නොමැතිව ලබාදෙන තීරුබදු නිදහස් කිරීම් ප්‍රතික්ෂේප කරයි.
මෙම ප්‍රතිපත්තිය මගින් දැනට පවතින තීරුබදු ක්‍රමය විස්තර කරන්නේ “අපනයනයට එරෙහි පක්ෂපාතී බදු ක්‍රමයක්” ලෙසිනි.
CSF ආයතනයට අනුව, ලෝක බැංකුව විසින් ඇස්තමේන්තු කර ඇත්තේ මෙම විකෘතිතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 10 ක පමණ ළඟා කරගත හැකිව තිබූ වාර්ෂික අපනයන ආදායමක් අහිමි වී ඇති බවයි.
එම විකෘතිතාවය නිවැරදි කිරීම නීත්‍යානුකූල දිගුකාලීන අරමුණක් ලෙස පවතී.
කෙසේ වෙතත්, දැඩි ආරක්ෂණ මට්ටම් යටතේ වර්ධනය වූ, ශ්‍රමිකයින් බහුලව යොදාගන්නා කර්මාන්තවල ව්‍යාපාරිකයින්ට සහ සේවකයින්ට මෙහි ක්ෂණික ප්‍රතිවිපාක දැඩි විය හැකිය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs), අඩු ඵලදායිතා ව්‍යාපාර, ග්‍රාමීය සේවකයින්, කාන්තාවන් සහ අඩු කුසලතා සහිත සේවකයින් මෙම ප්‍රතිසංස්කරණවලට හැඩගැසීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දිය හැකිය.
ක්රමානුකූල සහායක් නොමැති වුවහොත්, බලපෑමට ලක්වන සමාගම්වලට සහ සේවකයින්ට එම පාඩුව තනිවම දරාගැනීමට සිදුවනු ඇතැයි CSF අනතුරු අඟවා ඇත.
මෙම ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීමට, දුර්වල කිරීමට හෝ ආපසු හැරවීමට බලපෑම් වැඩි වන විට, කර්මාන්තකරුවන් සෘජු දේශපාලන බලපෑම් හරහා තීරුබදු නිදහස් කිරීම් ලබාගැනීමට උත්සාහ කළ හැකිය.
2017-2019 අත්දැකීම් නැවත සිදු නොවන ලෙසට CSF අනතුරු අඟවයි
එවැනි ප්‍රතිඵලයක් හරහා ශ්‍රී ලංකාවේ 2017-2019 ලිබරල්කරණ උත්සාහයේ අත්දැකීම් නැවත වරක් සිදුවිය හැකිය.
එම කාලසීමාව තුළ වෙළඳ, කර්මාන්ත සහ මුදල් අමාත්‍යාංශ එක්ව වෙළඳ ගැලපුම් වැඩසටහනක් (Trade Adjustment Program) සකස් කළේය.
2019 වසරේ මුල් භාගයේදී කැබිනට් මණ්ඩලය විසින් එම වැඩසටහන අනුමත කරන ලදී.
නිලධාරීන් විසින් එහි තාක්ෂණික රාමුව සැලකිය යුතු ලෙස සම්පූර්ණ කර තිබුණද, රජය වෙනස් වීමෙන් පසු ප්‍රතිසංස්කරණ ප්රයත්නය ඇණහිටීම හේතුවෙන් එම වැඩසටහන කිසිදා ක්‍රියාත්මක නොවීය.
එබැවින්, ස්වාධීන වෙළඳ සහ ඵලදායිතා කොමිසමක් (TPC) පිහිටුවන ලෙස CSF ඉල්ලා සිටී.
යෝජිත ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව (NTPC) සමඟ, නමුත් එයින් වෙන්ව ස්වාධීනව මෙම ආයතනය ක්‍රියාත්මක විය යුතු බවට ඔවුන් යෝජනා කරයි.
මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින්, සාමාන්‍යයෙන් කාර්තුවකට වරක් තීරුබදු යෝජනා සකස් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, එම කමිටුව ක්ෂේත්‍ර මට්ටමින් සහ සමාගම් මට්ටමින් සිදුවන අවදානම් තක්සේරු කිරීම් සඳහා සැලසුම් කර හෝ ඊට සරිලන කාර්ය මණ්ඩලයක් යොදවා හෝ නොමැති බව CSF තර්ක කරයි.
ගැලපුම් සැලසුම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයන් සහ ඇගයීම් සිදු කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහය ද ඊට නොමැත.
මේ සඳහා වෙන්වූ TPC ලේකම් කාර්යාලයකට, ඉදිරිපත් කිරීම් සැකසීමට, පර්යේෂණ පැවරීමට, සිද්ධි වාර්තා සකස් කිරීමට සහ නිර්දේශ හා තීරණ පිළිබඳ පොදු වාර්තාවක් පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි CSF පැවසීය.
පෙර රාමුවේ තිබූ සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභා ආකෘතිය, මෙහෙයුම් අත්පොත සහ ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශය මේ සඳහා මනා පදනමක් සැපයිය හැකිය.
එබැවින්, රජය හමුවේ ඇති ප්‍රධාන ප්රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ තීරුබදු ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතුද යන්න නොවේ.
එය නම්, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවත වරක් දේශපාලන බලපෑම් මත දුර්වල වීම වළක්වන අතරම එහි ප්‍රතිවිපාක සාධාරණ ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ඇති ආයතන ශ්‍රී ලංකාව විසින් ගොඩනඟනු ඇත්ද යන්නයි.




