
දෙහිවල, සිරිසඟබෝ මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව, අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය 11 වැනිදා අලුයම දෙහිවල සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ පියාගේ පාදයකට බරපතළ තුවාල සිදුවිය.
බරපතළ තුවාල ලැබූ පියාගේ එක් පාදයක් පසුව ඉවත් කිරීමට සිදුව ඇති අතර, මියගිය දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ (14) පස්වරුවේ සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ආරම්භ කර ඇත.
විමර්ශනවලදී, ප්‍රහාරය සඳහා පැමිණි බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් වර්ණ වෙනස් කිරීම සඳහා ගරාජයකට ලබාදුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු සහ එම ගරාජයේ හිමිකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ප්‍රහාරය මෙහෙයවූ බව කියන “කොස්මල්ලි” සහ “බෝදියාවත්තේ අවිශ්ක” යන සැකකරුවන්ගෙන් ලැබුණු උපදෙස් මත අදාළ ක්‍රියා සිදුකර ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණ වී ඇති බවයි.
මේ අතර, ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන “කොස්මල්ලි” නමැත්තාගේ මාමා සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.
ඔහු සම්බන්ධයෙන්ද වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම, සැකකරුවන් ප්‍රහාරය සඳහා පැමිණි බව කියන ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා සම්බන්ධයෙන්ද පොලිසිය තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.
අදාළ පුද්ගලයා කළුබෝවිල සරණංකර පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, “බෝදියාවත්තේ අවිශ්ක” නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බවට සැකකෙරෙන පුද්ගලයෙකුද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 504ක්, විද්‍යුත් තරාදියක්, රබර් සීල් දෙකක් සහ ජංගම දුරකථන දෙකක් සොයාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටී.




