
ප්‍රාදේශීය සභාවක කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැති අවස්ථාවක, එම සභාවට අදාළ බලප්‍රදේශයේ සුනඛයන් ඇතිකරන නිවෙස්වලින් බලු බද්දක් අය කර ආදායම් උපයා ගැනීමට නීතිමය බලය පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පළාත් පාලන ආයතනවලට පැවරී ඇති වගකීම් හා රාජකාරි ඉටු කිරීම සඳහා මුදල් ප්‍රමාණවත් නොවන බව හැඟෙන්නේ නම්, අදාළ ප්‍රාදේශීය සභාවට තම බලප්‍රදේශයේ සුනඛයන් ඇතිකරන නිවාස සඳහා බද්දක් පැනවීමට තීරණය කළ හැකි බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන සතුව පවතින නෛතික බලතල යටතේ මෙවැනි බදු පැනවීම සහ ඒ හරහා ආදායම් එකතු කිරීම සිදු කළ හැකි බවයි.
“මම මේ කියන්නේ එම ආයතනවලට තියෙන බලය ගැනයි. ඒ අයට එවැනි තීන්දු අරගෙන බදු එකතු කරන්න පුළුවන්කම තියෙනවා,” යනුවෙන් අමාත්‍ය ලාල් කාන්ත මහතා සඳහන් කළේය.
ඒ අනුව, පළාත් පාලන ආයතනවල ආදායම් මාර්ග පිළිබඳවද මෙම ප්‍රකාශයත් සමඟ අවධානය යොමුව තිබේ.




