
හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා මෙරටට ආනයනය කරන වාහනවල තිබෙන ‘ස්මාර්ට් කී’ (Smart Key) සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැකකෙරෙන වරාය සේවකයෙකු සහ එම යතුරු මිලදී ගත් බව කියන බාහිර පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පසුගිය 11 වැනිදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව හම්බන්තොට වරාය පොලිසිය සඳහන් කළේය.
වාහනවල ස්මාර්ට් කී අතුරුදන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂක අංශය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී වරායේ සේවයේ නිරත පුද්ගලයෙකු සම්බන්ධයෙන් සැකයක් මතුව තිබේ.
ඒ අනුව අදාළ සේවකයා ආරක්ෂක නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදී ඇත.
හම්බන්තොට වරාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය සිදුකළ පරීක්ෂණ සහ සැකකාර වරාය සේවකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, සොරකම් කළ ස්මාර්ට් කී කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, වාහන වර්ගය අනුව එක් ස්මාර්ට් කීයක් රුපියල් 6,000 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවට අනාවරණ වී ඇති බවයි.
මාස කිහිපයක කාලයක් තුළ ස්මාර්ට් කී 45කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කර ඇති අතර, ඒ හරහා සැකකාර වරාය සේවකයා රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් උපයාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබේ.
වරාය සේවකයාගෙන් ලබාගත් ප්‍රකාශ අනුව, කුරුණෑගල ප්‍රදේශයේ අදාළ ව්‍යාපාරිකයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සොරකම් කළ ස්මාර්ට් කී මිලදී ගත් බවට පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම, ඔහු සතුව තිබූ අදාළ ස්මාර්ට් කී කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ජාත්‍යන්තර මට්ටමේ වරායක මෙවැනි සංවිධානාත්මක සොරකම් සිදුවීම වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර නාවික සමාගම් සහ ආනයනකරුවන් තුළ පවතින විශ්වාසයට බලපෑමක් ඇති කළ හැකි බවද වරාය ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
එමෙන්ම, වාහනවල කොටස් සහ යතුරු අතුරුදන් වීම හේතුවෙන් ආනයනකරුවන්ට මෙන්ම රක්ෂණ සමාගම්වලටද සැලකිය යුතු මූල්‍ය පාඩු සිදුවිය හැකි බව සඳහන් වේ.
හම්බන්තොට වරාය හරහා මෙරටට වාහන ආනයනය ආරම්භ කළ කාලයේ සිටම මෙම ජාවාරම සිදුවී ඇති බවට වරාය ආරක්ෂක අංශ සහ පොලිසිය සිදුකළ සොයාබැලීම්වලදී තොරතුරු අනාවරණ වී ඇති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
වරාය තුළ සිදුවන මෙවැනි සොරකම් හඳුනා ගැනීම සහ ඒවා වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරමින් සිටින බව හම්බන්තොට වරාය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.




