
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව වසර දෙකකට ආසන්න කාලයක් නීති අධ්‍යක්ෂවරයෙකු නොමැතිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබේ.

මුදල් හා සැලසුම් අමාත්‍යවරයාගෙන් කරුණු විමසමින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ, පුළුල් නීතිමය සහ නියාමන වගකීම් පැවරී ඇති කොමිෂන් සභාවක් මෙතරම් දීර්ඝ කාලයක් නීති අධ්‍යක්ෂවරයෙකු නොමැතිව පවත්වාගෙන යාම පිළිබඳව බරපතළ අවධානයක් යොමු කළ යුතු බවයි.
නීති අධ්‍යක්ෂවරයෙකු නොමැති පසුබිමක කොමිෂන් සභාව ගනු ලබන තීරණ සඳහා නීතිමය උපදෙස් ලබා දෙන්නේ කවුරුන්ද යන්නත්, එම තීරණ නීත්‍යානුකූල බව සහතික කරන්නේ කෙසේද යන්නත් රාසමාණික්කම් මහතා එහිදී ප්‍රශ්න කර ඇත.
නිලධාරීන්ගේ වැටුප් පිළිබඳවත් ප්‍රශ්න
මේ අතර, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා කරුණු මතු කර තිබේ.
එක් එක් නිලධාරියාට ගෙවන වැටුප් වෙන වෙනම ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, ඊට පිළිතුරු ලෙස ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ සමස්ත වැටුප් වියදම පමණක් බව ඔහු පෙන්වා දී ඇත.
නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළි නොකිරීම සහ වසර දෙකක කාලයක් නීති අධ්‍යක්ෂවරයෙකු පත් නොකිරීම යන කරුණු හේතුවෙන් කොමිෂන් සභාවේ පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් ගැටලු මතුවන බවද රාසමාණික්කම් මහතා සඳහන් කර තිබේ.
රාජ්‍ය බැංකුවල අයකර නොගත් ණය ගැනත් අවධානය
අනෙක් අතට, රාජ්‍ය බැංකු මගින් ලබාදී ඇති අයකර නොගත් සහ කපා හැර ඇති විශාල ණය ප්‍රමාණයන් පිළිබඳවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කර ඇත.
ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම වැදගත් වුවද, එම රහස්‍යභාවය පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණ කාර්යයට බාධාවක් ලෙස භාවිත නොකළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම බැංකු ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ රුපියල් බිලියන ගණනක ණය කපා හැරීම හෝ අයකර නොගැනීම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු අවශ්‍ය බවද රාසමාණික්කම් මහතා අවධාරණය කර ඇත.
2021 සහ 2022 වසරවලදී කෝප් කමිටුව හමුවේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවලදී, ඇතැම් රාජ්‍ය බැංකු තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දැනුම් දෙමින් ලිපි යොමු කළ බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබේ.
මහජන මුදල් සම්බන්ධයෙන් පූර්ණ පාරදෘශ්‍යභාවයක් තිබිය යුතු බව අවධාරණය කළ රාසමාණික්කම් මහතා, රහස්‍යභාවය යන කරුණ ඉදිරිපත් කරමින් මහජන මුදල් පිළිබඳ තොරතුරු වසන් කිරීම පිළිගත නොහැකි බවද සඳහන් කර ඇත.
මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බැවින්, මෙවැනි කරුණු පිළිබඳව වඩාත් පැහැදිලි තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කර තිබේ.




