
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්රයේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය ජැවලින් ක්‍රීඩක රුමේෂ් තරංග මහතා දිවයිනට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් Turkish Airlines ආයතනය සිය කනගාටුව පළ කර තිබේ.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයන් අතර ඊයේ (15) පැවති සාකච්ඡාවකදී ගුවන් සේවා ආයතනයේ නිලධාරීන් සිය කනගාටුව පළ කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශනයක් සිදුකිරීමටත්, සිදුව ඇති හානිය පිළිබඳ නිසි ඇගයීමක් සිදුකර, අදාළ හානිය සඳහා කඩිනමින් ප්‍රතිපූරණය ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමටත් තීරණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර මට්ටමින් ඉහළට ඔසවා තබමින් ජැවලින් ඉසව්වෙන් ලොව ජයගත් රුමේෂ් තරංග, හංගේරියාවේ පැවති World Athletics Ultimate Championship තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව ඊයේ (15) අලුයම යළි දිවයිනට පැමිණියේය.
කෙසේ වෙතත්, දිවයිනට පැමිණීමේදී ඔහු තරග සඳහා භාවිත කළ ජැවලින් හෙල්ල පහම ගුවන් ගමන අතරතුර සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
රුමේෂ් තරංග තරග සඳහා රැගෙන ගිය හෙල්ල පහම මෙලෙස හානියට පත්ව ඇති අතර, එම හෙල්ලවල සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව වාර්තා වේ.
මෙම හෙල්ල රුමේෂ්ගේ ජාත්‍යන්තර තරග සඳහා අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ වන බැවින්, සිදුව ඇති හානිය සම්බන්ධයෙන් Turkish Airlines ආයතනය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.




