
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබුණද, එහි සම්පූර්ණ බලපෑම මෙරට පාරිභෝගිකයන් මත පැටවීමට රජය කටයුතු නොකරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

සෑම මසකම අවසානයේ සිදුකරන නිත්‍ය ඉන්ධන මිල සංශෝධනයට අදාළ තොරතුරු අද දිනයේදීම මහජනතාව වෙත දැනුම් දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එළැඹෙන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් රජය විසින් දරා ගැනීමට අපේක්ෂා කරන බවයි.
පසුගිය අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලදී ද එවැනි ආකාරයෙන් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමේ බලපෑමෙන් කොටසක් රජය විසින් දරාගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වගකිවයුතු රජයක් ලෙස ඉන්ධන මිල ඉහළ යාමේ සමස්ත බරම පාරිභෝගිකයා මත පැටවීම වෙනුවට, එහි කොටසක් රජය විසින් දරා ගනිමින් ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, මෙම මාසයට අදාළ නිත්‍ය ඉන්ධන මිල සංශෝධනයෙන් පසු පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු ඉන්ධනවල මිල ගණන් සම්බන්ධයෙන් අද දිනයේදී නිල වශයෙන් තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.




