
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකථනවල මුරපද ලබාදීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී දෙපාර්ශ්වය අතර දීර්ඝ කරුණු දැක්වීමක් සිදුව තිබේ.

අධිකරණයට කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර ඇත්තේ, අධිකරණය මීට පෙර ලබාදුන් නියෝගයක් අනුව මුරපද ලබාදිය යුතු වුවද, සලේ මහතා මේ දක්වා එම මුරපද ලබාදී නොමැති බවයි.
ඔහු මුලදී අදාළ ලැප්ටොප් පරිගණකය තම දියණියට අයත් එකක් බව ප්‍රකාශ කරමින් මුරපදය ලබාදීමෙන් වැළකී සිටි බවත්, පසුවද මුරපදය ලබාදීම මගහැර ඇති බවත් රජයේ පාර්ශ්වය අධිකරණයට පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ, බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව මුරපද නිතර වෙනස් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි.
ඒ අනුව දින කිහිපයකට වරක් මුරපද වෙනස් කිරීම හේතුවෙන් සති කිහිපයකට හෝ මාස කිහිපයකට පෙර භාවිත කළ මුරපද මතකයේ නොතිබීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව ඔහු අධිකරණයට පෙන්වා දී තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ, මුරපද ලබා නොදුනහොත් විමර්ශනය සඳහා අවශ්‍ය තොරතුරු වෙනත් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ ලබාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවයි.
මේ අතර, සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද අධිකරණයේදී කරුණු ඉදිරිපත් වී තිබේ.
ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ හෘද තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාදී ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ. ඔහුට සවි කළ හෘද උපකරණයක් සඳහා රුපියල් මිලියන 4ක පමණ රාජ්‍ය මුදලක් වැය වී ඇති බවද රජයේ පාර්ශ්වය අධිකරණයට සඳහන් කර ඇත.
එමෙන්ම, ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වෛද්‍ය මණ්ඩලයේ තීරණය අනුව ඔහු රෝහලෙන් මුදා හැරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිත බවද වාර්තා වේ.
සලේ මහතා රෝහලෙන් මුදා හැරීමෙන් අනතුරුව ඔහු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් විමර්ශන සහ ප්‍රශ්න කිරීම් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවද රජයේ පාර්ශ්වය අධිකරණයට දැනුම් දී තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බවද රජයේ නීතිඥ පාර්ශ්වය අධිකරණයට දැනුම් දී ඇත.




