
ග්‍රාමීය හා කඳුකර ප්‍රදේශ සඳහා 5G තාක්ෂණයට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කළ හැකි 4G දුරකතන සම්ප්‍රේෂණ කුලුනු වඩාත් සුදුසු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ 22 වැනිදා පාර්ලිමේන්තුව අමතමිනි.
මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ රට පුරා දුරකතන සම්ප්‍රේෂණ කුලුනු දහසක් ඉදිකිරීම සම්බන්ධයෙන් 4G සහ 5G පිළිබඳ විවිධ අදහස් පළවන බවයි.
ඔහු පෙන්වා දී ඇත්තේ ජනගහනය වැඩි නාගරික ප්‍රදේශ සඳහා 5G කුලුනු භාවිත කළ හැකි අතර, කඳුකර සහ ග්‍රාමීය ප්‍රදේශවල විශාල භූමි ප්‍රදේශයක් ආවරණය කිරීම සඳහා 4G කුලුනු වඩාත් යෝග්‍ය බවයි.
ඒ අනුව යෝජිත කුලුනු දහස අතරින් බහුතරයක් 4G කුලුනු වන අතර, යම් ප්‍රමාණයක් 5G කුලුනු ලෙස ඉදිකිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම, මේ වනවිට 5G තාක්ෂණය පවතින බව ප්‍රකාශ කළද, එම සේවාව ග්‍රාමීය ප්‍රදේශ වෙත ප්‍රමාණවත් ලෙස ළඟා වී ඇත්ද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.
මීට පෙර නොමිලේ Wi-Fi පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, දුරකතන සම්ප්‍රේෂණ කුලුනු ඉදිකිරීම ඇතුළු යෝජිත වැඩසටහන් හුදු ප්‍රකාශවලට සීමා නොකර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද රවීන්ද්‍ර බණ්ඩාර මහතා අවධාරණය කළේය.



