
ජපානයේ පැවැති 2026 ආසියානු ක්රීඩා උළෙල නිමා කරමින් නිරෝෂන් දික්වැල්ල ශ්රී ලංකාවට පැමිණෙන්නේ බොහෝ ක්රීඩකයන් මුළු ක්රීඩා දිවිය පුරාම හඹා යන අතිවිශේෂ දෙයක් ද සමඟිනි; එනම් ජාත්යන්තර පදක්කමකි. තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී ශ්රී ලංකාව විසින් බංග්ලාදේශය ලකුණු 63කින් පරාජය කිරීමත් සමඟ මෙම අත්දැකීම් බහුල කඩුලු රකින පිතිකරුවා මේ වන විට ආසියානු ක්රීඩා උළෙලක ලෝකඩ පදක්කම්ලාභියෙකු බවට පත්ව සිටියි. කෙසේ වෙතත්, එහි එක් විශේෂිත සිදුවීමක් තිබේ; එනම් දික්වැල්ල මෙම තරගාවලියේ එකදු තරගයකටවත් ක්රීඩා නොකිරීමයි.
බෝහෝ ක්රීඩකයන්ට ජාත්යන්තර ජයග්රාහී වේදිකාවක් මත සිටගැනීමට ලැබෙන්නේ වසර ගණනාවක, ඇතැම් විට දශක ගණනාවක කැපකිරීම්, නොකඩවා කළ පුහුණුවීම්, ආබාධ, පසුබෑම් මෙන්ම දහඩිය කඳුළු වගිරීමේ ප්රතිඵලයක් ලෙසයි. නමුත් ශ්රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ලට සිදු වූයේ වෙනස්ම දෙයකි. වසර ගණනාවක් ජාත්යන්තර ක්රිකට් පිටියෙන් ඉවත්ව සිටීමෙන් පසු, ශ්රී ලංකා ක්රිකට් ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්වූ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරග දෙකේ සංචිතයට ද ඇතුළත්ව මෙම කඩුලු රකින පිතිකරුවා නැවතත් ජාතික කණ්ඩායමට කැඳවනු ලැබීය. පසුව ඔහුව ආසියානු ක්රීඩා උළෙල සඳහා වූ ශ්රී ලංකා විස්සයි-20 සංචිතයට ද තෝරා ගන්නා ලදී. ඔහුගේ නැවත පැමිණීම පිළිබඳව විවිධ සංවාද මතුවුවද, තරගාවලිය පුරා එකදු පන්දුවකටවත් මුහුණ නොදී, කඩුලු රැකීමක් නොකර හෝ තරග බිමට නොබැස දික්වැල්ල මෙලෙස ආසියානු ක්රීඩා ලෝකඩ පදක්කමක් ද සමඟින් නැවත දිවයිනට පැමිණෙයි.

ආසියානු ක්රීඩා උළෙල සඳහා ඔහුගේ දායකත්වය සංඛ්යාත්මකව මැනීමට උත්සාහ කරන සංඛ්යාලේඛනඥයන්ට එම සංඛ්යා ලේඛන ගණනය කිරීම ඉතාම පහසු කාර්යයකි:
තරග: 0
ඉනිම: 0
ලකුණු: 0
උඩපන්දු: 0
ස්ටම්ප් කිරීම්: 0
පදක්කම්: 1
සමහර විට ආසියානු ක්රීඩා පදක්කමක් දිනා ගැනීම ඇත්තෙන්ම ඉතා ලෙහෙසි පහසු වැඩක් විය හැක.
හරියාකාරව ආරම්භ නොවූ නැවත පැමිණීම
දීර්ඝ කාලයකට පසු ජාත්යන්තර ක්රිකට් පිටියට නැවත පැමිණීමේ තවත් එක් පියවරක් වූ බැවින්, ආසියානු ක්රීඩා උළෙල සඳහා වූ ශ්රී ලංකා සංචිතයට දික්වැල්ල ඇතුළත් කිරීම මුල සිටම බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ කරුණක් විය.
33 වැනි වියේ පසුවන, සැලකිය යුතු ජාත්යන්තර අත්දැකීම් සහිත ඔහු සහන් ආරච්චිගේගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සිටි කැපී පෙනෙන ක්රීඩකයෙකු විය.
ජාත්යන්තර තලයේ තවත් අවස්ථාවකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් ඔහු ජපානය බලා පිටත්ව ගියේය.
කෙසේ වෙතත්, සැබවින්ම තරග බිමට පිවිසීමට ඔහුට අවස්ථාවක් හිමි වූයේ නැත.
සැප්තැම්බර් 29 වනදා නේපාලයට එරෙහිව පැවැත්වීමට තිබූ අර්ධ අවසාන පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක්වත් යැවීමට නොහැකිව අතහැර දැමීමට සිදු විය. වැඩි ප්රසාද ලකුණු හිමි කණ්ඩායම ලෙස ශ්රී ලංකාව අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඒ අනුව එකදු පන්දුවකටවත් මුහුණ නොදී, උඩපන්දුවක් නොගෙන හෝ කඩුලු රකින අත්වැසුම් පවා නොදමා ආසියානු ක්රීඩා උළෙලේ සිය පළමු අවාසාන පූර්ව වටයේ තරගය ජය ගැනීමට දික්වැල්ලට හැකි විය.
සාධාරණව බැලුවහොත්, කණ්ඩායමේ අනික් ක්රීඩකයන්ට සිදුවූයේ ද එයමය.
ඉන්දියාව හමුවේ ශ්රී ලංකාව පසුබසී
ඔක්තෝබර් 01 වනදා පැවැති අවසාන පූර්ව තරගයේදී ඉන්දියාව මුණගැසෙමින් ශ්රී ලංකාව අවසානයේ තරග බිමට පිවිසියේය.
කඩුලු රැකීමේ කාර්යය සඳහා සොහාන් ද ලිවේරා තෝරාගෙන තිබූ අතර, දික්වැල්ල අවසාන ක්රීඩකයින් 11 දෙනාට ඇතුළත් කර තිබුණේ නැත.
ඉන්දියාව කඩුලු 7කට ලකුණු 169ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 9.5කදී ලකුණු 45කට සීමා විය. ඒ අනුව ලකුණු 124ක පරාජයක් විඳගැනීමට සිදු වූ ශ්රී ලංකාවට ලෝකඩ පදක්කම සඳහා වන තරගයට මුහුණ දීමට සිදු විය.
දික්වැල්ලගේ තරගාවලි සංඛ්යා ලේඛනවල කිසිදු වෙනසක් සිදු නොවීය.
තවමත් සියල්ල බිංදුවේමය.
අවසාන අවස්ථාවත් ක්රීඩාගාරයේ සිටම
අනතුරුව ශ්රී ලංකාව ආසියානු ක්රීඩා ලෝකඩ පදක්කම උදෙසා බංග්ලාදේශයට එරෙහිව තරග බිමට පිවිසියේය.
එහිදී ද කඩුලු රැකීමේ වගකීම සොහාන් ද ලිවේරාට හිමි වූ අතර, දික්වැල්ල නැවතත් අවසාන 11 දෙනාගෙන් පිටත රැඳී සිටියේය.
ආරම්භක පසුබෑමෙන් පසු ශ්රී ලංකා ඉනිම ගොඩනැගූ නායක සහන් ආරච්චිගේ ලකුණු 33ක් රැස් කළ අතර, තරගයේ ගමන් මග වෙනස් කළ විශිෂ්ට ඉනිම ක්රීඩා කිරීමට තරිඳු රත්නායක සමත් විය.
පන්දු 32කින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 65ක් රැස්කළ තරිඳු, ශ්රී ලංකා ඉනිම කඩුලු 9කට ලකුණු 165 දක්වා ඉහළ නැංවීය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 17.3කදී ලකුණු 102කට සීමා කරමින් ලකුණු 63ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත් විය.
ශ්රී ලංකාව ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
දික්වැල්ල ද පදක්කම්ලාභියෙකු විය.
දික්වැල්ල විතරක් නෙවෙයි
කෙසේ වෙතත්, දික්වැල්ලගේ මෙම අපූරු ආසියානු ක්රීඩා පදක්කම් කතාවේ තවත් එක් සුවිශේෂී පාර්ශ්වයක් ද සිටියි.
ශ්රී ලංකා සංචිතයේ සිටි යොවුන් වේගපන්දු යවන ක්රීඩක ගරුක සංකේත්ට ද කණ්ඩායම ක්රීඩා කළ තරග දෙකෙන්ම කිසිදු තරගයකට ක්රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ නැත.
ඒ අනුව මෙම ක්රීඩකයන් දෙදෙනාටම හිමිවූයේ සුවිශේෂී තරගාවලි සංඛ්යා ලේඛනයකි:
නිරෝෂන් දික්වැල්ල – තරග 0 | පදක්කම් 1
ගරුක සංකේත් – තරග 0 | පදක්කම් 1
ලෝකඩ පදක්කම් තරගයට ක්රීඩා නොකළ සංචිතයේ අනෙකුත් ක්රීඩකයන් ඊට පෙර පැවැති තරගයට ක්රීඩා කර තිබූ බැවින්, එකදු තරගයකටවත් ක්රීඩා නොකර පදක්කම් දිනූ එකම ක්රීඩකයන් යුගලය බවට පත්වූයේ දික්වැල්ල සහ ගරුක සංකේත්ය.
බිංදුවට දැවී යාම් නැත.
මගහැරුණු උඩපන්දු නැත.
වැඩි ලකුණු ලබාදුන් පන්දුවාර නැත.
ගැටලුසහගත විනිසුරු තීරණ විමසීම් (reviews) නැත.
නමුත් එක් අයෙකුට ආසියානු ක්රීඩා ලෝකඩ පදක්කම බැගින් හිමිය!
කොහොම වුණත් පදක්කම පදක්කමමයි
මෙම හාස්යජනක පුවත පිටුපස වැදගත් කරුණක් ද තිබේ. ක්රිකට් යනු කණ්ඩායම් ක්රීඩාවක් වන අතර, ප්රධාන තරගාවලියක් සඳහා තේරී පත්වන ක්රීඩකයන් අවසාන 11 දෙනා අතරට තේරුණත් නැතත් කණ්ඩායමේ පුහුණුවීම්, සූදානම සහ සහායක ක්රියාවලියේ වැදගත් කොටස්කරුවන් වේ.
ශ්රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලියේදී තරග කිහිපයකට පමණක් මුහුණ දීමට සිදුවීම ද මීට තවත් හේතුවකි. අර්ධ අවසාන පූර්ව තරගය වර්ෂාවට හෝදී යාම නිසා කණ්ඩායමට ක්රීඩා කිරීමට හැකි වූයේ ඉන්දියාවට එරෙහි අවසාන පූර්ව තරගය සහ බංග්ලාදේශයට එරෙහි ලෝකඩ පදක්කම් තරගය යන තරග දෙක පමණි.
එම නිසා සංචිතයේ ක්රීඩකයන් මාරු කරමින් අත්හදා බැලීමට වැඩි අවස්ථාවක් හිමි වූයේ නැත.
කෙසේ වෙතත්, දික්වැල්ලගේ මෙම ආසියානු ක්රීඩා අත්දැකීම ඔහුගේ සිදුවීම් බහුල ජාත්යන්තර ක්රිකට් දිවියට තවත් අපූර්ව පරිච්ඡේදයක් එකතු කරයි.
දීර්ඝ කාලයකට පසු නැවතත් ජාත්යන්තර සංචිතයට පැමිණි නිරෝෂන් දික්වැල්ල, කණ්ඩායම සමඟ අවසාන පූර්ව වටයට පැමිණ, අවසානයේ එකදු තරගයකටවත් ක්රීඩා නොකරම ආසියානු ක්රීඩා ලෝකඩ පදක්කම්ලාභියෙකු බවට පත්විය.
එක තරගයක්වත් නෑ: ඒත් ආසියානු ක්රීඩා පදක්කමක් හිමියි!
සමහර විට ලකුණු පුවරුවකින් මුළු කතාවම කියැවෙන්නේ නැත. තවත් සමහර විටකදී, පදක්කමක් දිනන්න ලකුණු පුවරුවේ නම සටහන් වීම පවා අත්යවශ්ය වන්නේ නැත.




