
2029 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වී එය ජය ගැනීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හැර වෙනත් විකල්පයක් නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීරණය පක්ෂය විසින් ගනු ලැබුවද, තමාගේ පුද්ගලික විශ්වාසය වන්නේ ඒ සඳහා අනුර දිසානායක මහතාම ඉදිරිපත් විය යුතු බවයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිය පක්ෂයේ ප්‍රතිපත්තිමය පොරොන්දුවක් වුවද, ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් විය යුතු එකම පුද්ගලයා අනුර දිසානායක මහතා බව ඔහු අවධාරණය කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා සමස්ත ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවත්, ජනාධිපතිවරයා සතු බලතල විධිමත් ලෙස බෙදා හැරීමට ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍ය බවත්ය.
රජයේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් භාර ගත්තේ “අසාධ්‍ය ලෙඩෙකු” බඳු රටක් බවත්, මේ වන විට එම රෝගියා සුවපත් වෙමින් පවතින බවත්ය.
රටේ නීතිය ක්‍රියාත්මක වීම, මත්කුඩු සහ පාතාලය තුරන් වීම මෙන්ම සමාජය තුළ විනයක් ගොඩනැඟීම හරහා රට නැවත දළුලන බව ජනතාවට මේ වන විටත් වැටහෙමින් පවතින බව ඔහු පැවසීය.
ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී ඇති බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් විද්‍යාරත්න මහතා කියා සිටියේ, සියලු බලාපොරොත්තු එකවර ඉටු නොවීම නිසා ජනතාව තුළ යම් හිත් අමාරුකම් තිබිය හැකි වුවත්, රටේ සිදුවන යහපත් වෙනස බහුතර ජනතාව අගය කරන බවයි




