
රජයේ රෝහල් වෙත නිකුත් කළ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන්, 2025 වසරේදී රුපියල් මිලියන 1,210.52ක් වටිනා වෛද්‍ය සැපයුම් භාවිතයෙන් ඉවත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වේ.
තවත් රුපියල් මිලියන 1,409.23ක් වටිනා වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් තාවකාලිකව භාවිතයෙන් අත්හිටුවා තිබූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.
දෘශ්‍යමාන අංශු පැවතීම, ඖෂධීය ගුණාංග සම්බන්ධ ගැටලු, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම, වර්ණ වෙනස්වීම් සහ අහිතකර ප්‍රතික්‍රියා වැනි හේතු මත මෙම වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත් වී තිබේ.
අක්ෂි බැක්ටීරියා ආසාදන, දියවැඩියාව, හෘද රෝග, පිළිකා, ශ්වසන රෝග, සමේ රෝග සහ මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ ද තත්ත්වයෙන් අසමත් වූ ඖෂධ අතරට ඇතුළත් බව විගණන වාර්තාව අනාවරණය කරයි.

රෝහල් පහක වෛද්‍ය සැපයුම් වර්ග 34කට වැඩි ප්‍රමාණයක් අසමත්
මහනුවර ජාතික රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල, කුරුණෑගල රෝහල, ඇඹිලිපිටිය රෝහල සහ කෑගල්ල රෝහල යන රෝහල්වල රුපියල් මිලියන 25.71ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් වර්ග 34කට වැඩි ප්‍රමාණයක් පැවති බව ද වාර්තාවේ දැක්වේ.
මෙම වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත් බවට නිවේදනය කරන අවස්ථාව වන විටත් ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් වෙත නිකුත් කර තිබූ බව විගණනයෙන් අනාවරණය වී තිබේ.
නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම සහ නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවන වෛද්‍ය සැපයුම් තොග භාර ගැනීම ඇතුළු කරුණු ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් නිෂ්පාදනයේදී තත්ත්ව ප්රමිතීන් සපුරාලීමට නොහැකි වීමේ යම් සම්භාවිතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරිවරයා විගණනයට දැනුම් දී තිබේ.
එවැනි අවස්ථාවලදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලබන තීරණ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු විගණනයට සඳහන් කර ඇත.




