
සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ විසින් තමන්ව දකුණු අප්රිකාවේ හිටපු ජනාධිපති හා ලෝක ප්රකට නායක නෙල්සන් මැන්ඩෙලාට සමාන කරමින් ලිපියක් ලියා ඇති බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික චෝදනා කරනවා.

ජන හමුවක් අමතමින් මන්ත්රීවරයා සඳහන් කළේ, නෙල්සන් මැන්ඩෙලා ජීවතුන් අතර සිටියේ නම්, තමන්ව නාමල් රාජපක්ෂ සමඟ සසඳන ආකාරය දැක ඔහුට එම “අපහාසය” දරා ගැනීමට පවා නොහැකි වනු ඇති බවයි.
නාමල් රාජපක්ෂ මැන්ඩෙලා කෙනෙකු නොවන බවත්, ඔහු “මැන්ටලයක්” බවත් නජිත් ඉන්දික එහිදී ප්රකාශ කළා.
නෙල්සන් මැන්ඩෙලා යනු වර්ණභේදවාදයට එරෙහිව දීර්ඝ අරගලයක් සිදු කරමින් ලෝක ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් රාජ්ය නායකයෙකු බවද මන්ත්රීවරයා පෙන්වා දුන්නා.
එවැනි ඓතිහාසික නායකයෙකු සමඟ නාමල් රාජපක්ෂ සසඳා බැලීම කිසිසේත් සාධාරණ නොවන බව ඔහු සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වසර 15කට ආසන්න කාලයක් රටේ පාලනයට සම්බන්ධ වී සිටි බව පවසන නජිත් ඉන්දික, එම පාලනය අවසානයේ රට ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට ඇද දැමූ බවට චෝදනා කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පියා සහ බාප්පාවරුන් ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව රට පාලනය කළ නාමල් රාජපක්ෂ අද වන විට දූෂණ හා වංචා සම්බන්ධ චෝදනා මත සිරගතව සිටින බවයි.
ඒ අනුව, නෙල්සන් මැන්ඩෙලාගේ දේශපාලන ගමන හා නාමල් රාජපක්ෂගේ දේශපාලන භූමිකාව එකම මට්ටමකින් සැලකීම විහිළුවක් බව මන්ත්රීවරයාගේ අදහස වී තිබේ.
නාමල් රාජපක්ෂ විසින් ලියූ බව කියන ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නජිත් ඉන්දික සිදු කළ මෙම ප්රකාශ මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.




