
වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් සිටින රුමේෂ් තරංග අද (15) අලුයම දිවයිනට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, ඔහු දිවයිනට පැමිණීමත් සමඟ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුව ඇති අතර, ගුවන් මගින් රැගෙන ආ ඔහු සතු හෙල්ල 5ක්ම සැක සහිත ලෙස කැඩී හානි වී ඇති බව වාර්තා වේ.
එම හෙල්ල අතර ඔහු ලෝක මට්ටමේ දක්ෂතා දැක්වූ අවස්ථාවල භාවිත කළ හෙල්ලද ඇතුළත් බව සඳහන්ය.
ඒ අනුව, හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09ක දුරක් වාර්තා කළ හෙල්ල මෙන්ම, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවරදී මීටර් 92.07ක දුරක් විසි කළ හෙල්ලද මෙලෙස හානි වී ඇති බව වාර්තා වේ.
රුමේෂ් තරංග මෑත කාලයේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී දක්ෂතා දක්වමින් අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනා ගැනීමට සමත්විය.
ඔහු අද අලුයම 5.10ට තුර්කි ගුවන් සේවයට අයත් TK-730 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
ලෝක මට්ටමේ තරග සඳහා ක්‍රීඩකයෙකු භාවිත කරන හෙල්ල ඔහුගේ දක්ෂතාවයට සෘජුවම බලපාන විශේෂිත ක්‍රීඩා උපකරණ වන බැවින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩි අවධානයක් යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.




