
කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ජනනය කරන ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය (CSAM) හේතුවෙන් මතුවෙමින් පවතින නව අවදානම් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමඟ අන්තර්ජාලය ඔස්සේ ළමුන්ට එල්ල වන තර්ජන නව ස්වරූපයන් ගනිමින් පවතින බව පොලිසිය පෙන්වා දෙයි.
පොලිසිය සඳහන් කරන්නේ සාම්ප්‍රදායිකව CSAM ලෙස හැඳින්වෙන්නේ ලිංගික අපයෝජනයට ලක් වූ ළමුන්ගේ සැබෑ ඡායාරූප හෝ වීඩියෝ ඇතුළත් ද්‍රව්‍ය බවයි.
කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වර්ධනයත් සමඟ අපරාධකරුවන්ට ළමුන්ගේ සාමාන්‍ය ඡායාරූප හෝ රූප කෘත්‍රිමව වෙනස් කර ලිංගික අපයෝජන ස්වරූපයෙන් භාවිත කිරීමට හැකියාව ලැබී ඇති බවද පොලිසිය පවසයි.
මෙවැනි ක්‍රියා හේතුවෙන් දරුවන්ගේ පෞද්ගලිකත්වයට, ගෞරවයට, චිත්තවේගීය යහපැවැත්මට සහ මානසික සෞඛ්‍යයට බරපතළ බලපෑම් ඇති විය හැකි බව පොලිසිය අවධාරණය කරයි.
දරුවෙකු අවදානමකට ලක්ව ඇති බවට හඳුනාගත හැකි සංඥා
අන්තර්ජාලය ඔස්සේ දරුවෙකු තර්ජනයකට, බලපෑමකට හෝ උපාමාරුවකට ලක්ව ඇති අවස්ථාවකදී ඔහුගේ හෝ ඇයගේ හැසිරීමේ වෙනස්කම් නිරීක්ෂණය විය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.
ඒ අතර,
- දෙමාපියන් හෝ වැඩිහිටියන් ළඟට පැමිණෙන විට දුරකථන හෝ පරිගණක තිර සැඟවීම හෝ වසා දැමීම.
- පෞද්ගලිකත්ව සැකසුම් හදිසියේ වෙනස් කිරීම හෝ රහස්‍ය ගිණුම් නිර්මාණය කිරීම.
- බිය, වරදකාරිත්වය හෝ සමාජයෙන් ඉවත්වීම වැනි චිත්තවේගීය වෙනස්කම් ඇතිවීම.
- අන්තර්ජාල සන්නිවේදනයන් සම්බන්ධයෙන් අසාමාන්‍ය ලෙස රහස්‍යභාවයක් දැක්වීම.
වැනි කරුණු ඇතුළත් වේ.
දරුවන් ආරක්ෂා කිරීමට පියවර ගන්න
මෙවැනි අවදානම්වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පවුල තුළ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ විවෘත සහ වයසට ගැළපෙන සංවාද පවත්වාගෙන යාම වැදගත් බව පොලිසිය පවසයි.
එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන්ගේ ඡායාරූප බෙදා ගැනීමේදී පෞද්ගලිකත්ව සැකසුම් භාවිත කිරීම, ආගන්තුකයන් සමඟ පෞද්ගලික තොරතුරු හෝ ඡායාරූප බෙදා නොගැනීම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම සහ සුදුසු මාපිය පාලන ක්‍රම භාවිත කිරීමද වැදගත් බව සඳහන් කරයි.
අන්තර්ජාලය ඔස්සේ සිදුවන සිදුවීමක් සම්බන්ධයෙන් බියකින් හෝ දොස් පැවරීමකින් තොරව දෙමාපියන් හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකු වෙත පැමිණිලි කළ හැකි බවට දරුවන්ට විශ්වාසයක් ලබාදීමද අත්‍යවශ්‍ය බව පොලිසිය අවධාරණය කරයි.
ඩිජිටල් යුගයේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙමාපියන් සහ රැකබලා ගන්නන් තාක්ෂණික අවදානම් පිළිබඳව දැනුවත්ව, සුපරීක්ෂාකාරීව සහ ක්‍රියාශීලීව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් පවසයි.




