
දරුවන් සමඟ සෘජුව සම්බන්ධ වන රාජ්‍ය රැකියා සඳහා බඳවා ගැනීමේදී අදාළ පුද්ගලයන්ට ළමා අපරාධ සම්බන්ධ චෝදනා නොමැති බව තහවුරු කිරීම සඳහා විශේෂ සහතිකයක් හඳුන්වාදීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වනවිට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරිය පැවසුවාය.
නව වැඩපිළිවෙළ යටතේ විශේෂයෙන්ම දරුවන් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයන්, ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ නොමැති බවට පොලීසිය හෝ අදාළ බලධාරී ආයතනයක් මගින් නිකුත් කරන සහතිකයක් ඉදිරිපත් කළ යුතු වනු ඇත.
එමෙන්ම, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන් සඳහාද මෙම ක්‍රමවේදය අදාළ කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව, සේවා කඩඉම් සහ වැටුප් වර්ධක ලබාගැනීමේදී අදාළ කාලසීමාව තුළ තමන් ළමා අපරාධ සම්බන්ධයෙන් සම්බන්ධ වී නොමැති බව තහවුරු කරන සහතිකය යාවත්කාලීන කර ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
අමාත්‍යවරිය පෙන්වා දුන්නේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පියවර රටක් ලෙස ඉදිරියට යාමේදී අත්‍යවශ්‍ය වන බවයි.
“විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගන්නා පුද්ගලයන් ළමා අපරාධවලට සම්බන්ධ නොවූ අය බව තහවුරු කරගැනීම වැදගත්.”
අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය සේවයට නව පුද්ගලයන් බඳවා ගැනීමේදී පමණක් නොව, දැනට සේවයේ නිරත නිලධාරීන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව මෙම පරීක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම අරමුණ බවයි.




